ග්රෑන්ඩ්පාස් පොලිස් වසමේ පිහිටි කණිටු විද්‍යාලයක විදුහල්පතිවරයෙකු එසේ අත්අංගුවට ගෙන තිබේ. වයස අවුරුදු නවයක් වන සිසුවියන් දෙදෙනෙක්, වයස අවුරුදු අටක සිසුවියක් සහ වයස අවුරුදු දහතුනක සිසුවෙක් එසේ අපයෝජනයට ලක්ව ඇතැයි පොලිසිය කියයි. සිසුවියන් දෙදෙනෙක් සහ සිසුවා අපයෝජනයට ලක්ව ඇත්තේ විදුහල්පතිවරයාගේ කාර්යාලය තුළදීය. අනෙත් සිසුවිය විදුහල් භුමියේදි අපයෝජනයට ලක්ව ඇත. මෙම විදුහල්පතිවරයා කලක් චීවරධාරියෙක් ලෙස සිටියෙක් බවත් විවාහකයෙක් වන ඔහු හතලිස් හත් හැවිරිදි වියැති අයෙක් බවත් පොලිසිය කියයි.
ලිංගික අතවරයට ලක් වූ සිසුවියක් ඊයේ (31) සවස සිය මවට මෙම අතවරය පවසා තිබේ. දෙමව්පියන් වහාම සිද්ධිය ගැන ග්‍රෑන්ඩ්පාස් පොලිසියට පැමිණිලි කර ඇත.
පොලිසිය ඊයේ සවස මෙම විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ. අද (01) මෙම විදුහලට ගිය පොලිස් නිලධාරින් සිදුකළ පරීක්ෂණවලදී අනෙකුත් සිසු සිසුවියන්ද තමන්ට විදුහල්පතිවරයා විසින් සිදු කරන ලද ලිංගික අතවර හෙළිදරව් කර තිබේ. බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක, කොළඹ නියෝජ්‍ය පොලිස්පති එස්.ඒ.ඩී.එස්.ගුණවර්ධන, කොළඹ උතුර කොට්ඨාශය භාර පොලිස් අධිකාරි පාලිත සිරිවර්ධන, සහකාර පොලිස් අධිකාරි බෝඅත්ත යන නිලධාරින්ගේ උපදෙසින් පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ඩී.පී.එච්.කලණසිරි මහතා ප‍්‍රමුඛ නිලධාරීන් පරීක්‍ෂණ පවත්වති.