"City of Dance ultimate level " ලෙසින් දෙරණ රූපවාහිනිය මඟින් සංවිධානය කරන නර්තන තරගාවලියේ සිවුවන අදියර පෙබරවාරි 10 ඉරිදා රාත්‍රී 9ට ප්‍රේක්ෂකයා හමුවට රැගෙන ඒමට සියලු කටයුතු සූදානම් බව අපට දැනගන්නට ලැබුණා. එහිදී, මෙවර තරගාවලියේ සුවිශේෂී වෙනස්කම් කිහිපයක්ම සිදුවන බව අපට කීවේ මෙම වැඩසටහන ප්‍රභාත් කහදුආරච්චි සමඟ සම නිෂ්පාදනය කරන දිල්ෂාන් අමරසිංහයි.
• දෙරණ "City of Dance" මේ කීවැනි ඇරැඹුමද?
මේ සීසන් ෆෝ එක. "DERANA CITY OF DANCE ULTIMATE LEVEL" කියලා තමයි මෙවර වැඩසටහන නම් කරලා තියෙන්නේ.
• මෙවර තරගයේ තියෙන විශේෂත්වය මොකක්ද?
පසුගිය අදියර තුනම ක්‍රියාත්මක වුණේ ඔක්කොම අලුත් කට්ටිය එක්ක විතරයි. එතැනදි අපි ලංකාවේ ආධුනික තරුණ තරුණියන්ට එයාලගේ ටැලන්ට් පෙන්නන්න අවස්ථාව දුන්නා. මෙතැනදි මුළුමනින්ම ජනප්‍රිය රංගන ශිල්පීන්ම පමණයි සම්බන්ධ කර ගත්තේ.
• ජනප්‍රිය ශිල්පීන්ව සම්බන්ධ කරගන්න හිතුවේ වැඩසටහන ආකර්ෂණය කරගැනීමේ උපක්‍රමයක් ලෙසටද?
නෑ. එහෙම අරමුණක් නෑ. අපේ පසුගිය සීසන් තුනේදී ක්ෂේත්රයට ගෙනාපු දක්ෂයෝ විශාල පිරිසක් ඉන්නවා. මේ පාර තරගයට ඉදිරිපත් වුණ සියලුම කලාකරුවන්ගේ සහායක නර්තන ශිල්පීන් විධියට සම්බන්ධ වෙන්නේ ඔවුන්. අපිට අවශ්‍ය වුණා "City of Dance" තරගයෙන් ජයග්‍රහණය ලබපු මේ ශිල්පීන්ටත් නැවත අවස්ථාවක් ලබාදෙන්න.
• එවැනි වෙනසක් කරන්න හිතුවේ කලින් වටවලදි ජයග්‍රහණය කළ ඒ පිරිසට නර්තන අවස්ථා උදාකරන්න බැරිවුණ නිසාද?
නෑ. එහෙම අවශ්‍යතාවක් නම් කොහෙත්ම නෑ. මේ වෙද්දි ඔවුන් හැමදෙනාම වගේ නර්තන කණ්ඩායම් නිර්මාණය කරගෙන දුර ගමනක් ඇවිත් තිබෙනවා. ලංකාවේ ජනප්‍රිය නර්තන ශිල්පීන් ළඟ ඔවුන් වැඩ කරනවා.
• එතකොට මෙවර තරගයේ අරමුණ සැකසෙන්නේ කොහොමද?
අපි එක දිගට අදියර 3ක් එකම ආකෘතියකට තරගය පැවැත්වුවා. ඉතින් අපට අවශ්‍ය වුණා තව වෙනස් ප්‍රේක්ෂක පිරිසක් මේකට එකතු කර ගන්න. කලාකරුවන් සම්බන්ධ වෙද්දි කොහොමටත් ඒ ආකර්ෂණය ලැබෙනවානේ
• මෙවර තරගයේ විනිශ්චය සිදුවන්නේ කොහොමද?
ජනමතයට වඩා ඇත්තටම ආර්ටිස්ලා අතරින් දක්ෂයෙක් තෝරන්න අපිට අවශ්‍ය වුණා. ඒ නිසා අපි මේවර විනිශ්චය ලබාදෙද්දි SMS මනාප සඳහා අවස්ථාව දෙන්නේ නෑ. මුළුමනින්ම විනිශ්චය මණ්ඩලයේ තීරණය මත ජයග්‍රාහකයන් තෝරනවා.
• කවුද මේ අසීරු අභියෝගය භාරගත්ත විනිශ්චය මණ්ඩලය?
චන්න විජේවර්ධන, කෙවින් නුගාර, දිල්හානි අශෝකමාලා කියන තිදෙනා තරගය පැවැත්වෙන මාස දහය පුරාවටම විනිශ්චය ලබාදීමට කටයුතු කරනවා.
• SMS මනාප නැතිවීමෙන් ජනතා ආකර්ෂණය අඩුවෙයි කියලා හිතුණේ නැද්ද?
වෙනත් නාළිකාවල පවත්වපු ඇතැම් රියැලිටි තරගවලදි ගොඩක් දක්ෂ ප්‍රවීණ රංගන ශිල්පීන් තරගාවලියෙන් ඉවත් වෙනවා අපි දැක්කා. මොකද ජනප්‍රියත්වය කියන සාධකය මත ඔවුන්ට SMS ලැබුණේ නෑ. මේ නිසා මෙම වටයෙදි දක්ෂතාවට පමණක් වටිනාකම පිරිනමන්න අපි අදහස් කළා.
• ජයග්‍රාහකයන්ට ලබාදෙන තෑගිවලත් ආකර්ෂණීය වෙනසක් තියෙනවද?
දැනට ඒ ගැන හරියටම තීරණය කරලා නෑ. ඒත් විශාල මුදලක් පිරිනමන බව නම් කියන්න පුළුවන්.
• කවුද මේ සඳහා සහභාගි වන තරගකරුවන්?
කලාකරුවන් 25 දෙනෙක් මේ සඳහා සහභාගි වෙනවා. ඊට අමතරව ඔවුන්ගේ සහායකයන් ලෙස "දෙරණ සිටි ඔෆ් ඩාන්ස්" නියෝජනය කළ පරණ තරගකරුවන් ඉන්නවා.
• මේ කලාකරුවො විසිපස් දෙනා තෝරාගත්තේ කොහොමද?
අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ ගොඩක්ම නව පරපුර නියෝජනය කරන කලාකරුවන්. නමුත් අපි ප්‍රවීණ කලාකරුවන්ටත් ආරාධනා කළා. එහිදී සමහර කලාකරුවෝ ඒ ආරාධනාව ප්‍රතික්ෂේප කළේ SMS මනාප ක්‍රමය ඉවත් කිරීම නිසා. මේ වෙලාවේ අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ ජනප්‍රියත්වයක් නැතිව දක්ෂතාවයෙන් ගොඩයන්න කැමැති කලාකරුවෝ පිරිසක්. ඒක අගය කළ යුතුයි.
• තරගකරුවන් දෙරණ සමඟ දීර්ඝකාලීන බැඳීමකටත් යටත්වෙනවාද?
එහෙම බැඳීමක් නම් නෑ. ඒත් අපේ අරමුණක් තියෙනවා ඊළඟ සීසන් එකේදි මොවුන් සමඟ ලොකු වැඩක් කරන්න.
උපුටා ගැනීම -මව්බිම