ගෝලීය වසංගතයක්‌ වී ඇති දියවැඩියාව - Diabetes

කොටි ඉවරයි නමුත් දියවැඩියාව ඉවර නැහැ. යුද්ධය සහ අනෙකුත් ස්‌වාභාවික විපත් ආදියෙන් මියයන සංඛ්‍යාවට වඩා වැඩි ප්‍රමාණයක්‌ හෘදයාබාධ සහ දියවැඩියාව වැනි රෝගවලින් මියයන බව කිව යුතුයි.

ශ්‍රී ලංකාවේ මිලියන 20 ක ජනසංඛ්‍යාවෙන් මිලියන 2 කට වැඩියෙන් දියවැඩියා රෝගීන් ඉන්නවා. අද වන විට ශ්‍රී ලංකාවේ බාල තරුණ මහලු ආදී සියලු වයස්‌ සීමාවන්හි අය දියවැඩියාවට ගොදුරු වී සිටී. මෙය වැඩිහිටියන්ට පමණක්‌ සීමා වූ රෝගයක්‌ නොවේ. ආවේණික රෝගයක්‌aද නොවේ. දියවැඩියාව කුඩා ළමුන්ට පවා වැළඳිය හැකිය.
අතීතයේ ලෝකයේ සුපිරි රටවල්වල ධනවත් අය ගොදුරු වූ දියවැඩියා රෝගය දුප්පත් රටවල නගරයට පමණක්‌ නොවේ ගම්බදව ද පැතිරී ගොස්‌ ඇත. 1990 වර්ෂයේදී 2% ක්‌ පමණ වූ ලංකාවේ ග්‍රාමීය දියවැඩියා රෝගීන්ගේ ප්‍රතිශතය 2008 වර්ෂයේදී 10.5% ක්‌ දක්‌වා වර්ධනය වී තිබිණි.

දියවැඩියාව වත්මන් වෛද්‍ය විද්‍යාව තුළ සියලු රෝගවල මව් ලෙස සලකයි. වෙනත් කිසිම රෝගයකට වඩා වැඩි වශයෙන් සාමාන්‍ය පුද්ගලයන් රෝගී කිරීම නිසා මෙසේ කියයි. ලොව පුරා සියලු ජාතීන්ගේ නිරෝගී බව ආක්‍රමණය කොට ලෝක දියවැඩියා ප්‍රජාවක්‌ නිර්මාණය කිරීමෙහිලා සමත් වී තිබේ. ඒ නිසා දියවැඩියාව අද ගෝලීය වසංගතයකි.

නූතන වෛද්‍ය විද්‍යාවේ පියා වශයෙන් සැලකෙන හිපොක්‍රටීස්‌ මෙලොව උපදින්නටත් පෙර සිටම අපේ රටේ ආයුර්වේදය නම් වූ පෙරදිග වෛද්‍ය ක්‍රමයක්‌ තිබුණි. බුදුරජාණන් වහන්සේගේ දේශනාවලද මධුමේහය නමැති රෝගයක්‌ ගැන සඳහන් වේ. දියවැඩියාව නැත්නම් මධුමේහය අපට අලුත් දෙයක්‌ නොවේ.

අපේ වෛද්‍යවරු මුදලට ගිජු වූයේ නොමැත. වර්තමානයේ වෛද්‍යවරු රෝගීන් ගසා කන අන්දම ගැන හිතනවිට දියවැඩියා රෝගීන් මුදලට විකිණී ඇති බව කිව යුතුයි. බටහිර බෙහෙත් පාවිච්චියට වඩා ආයුර්වේද ඖෂධ මගින් දියවැඩියා රෝගීන් සුවපත් කළ හැකියි. ඒ සඳහා දක්‍ෂ ආයුර්වේද වෛද්‍යවරුන් දිවයින පුරා සිටිති.

ආයුර්වේද පරිකල්පනය රෝග සුවවීම යනු නිධාන පරිවර්ජනය හෙවත් අදාළ හේතුකාරකවලින් වැළකීමයි. එනම් නිට්‌ටාවට සුව කළ නොහැකි වුවද ප්‍රමේහ හෙවත් මධුමේහ රෝගයට හේතු වන නිධාන ආදී කාරණවලින් විචාරශීලීව ඈත්වීම අවශයයි. පැරැණි ජීවන රටාව මෙහිදී වැදගත්ය. සම්ප්‍රදායික ආහාර පරිභෝජනය නොකර කෘතිම තාක්‌ෂණික රසායනික කාබනික හා ජාන විකෘති ආහාර දිනපතා අනුභවය අහිතකරය. අපට සෞඛ්‍ය ප්‍රතිපත්තියක්‌ මෙන්ම ජාතික ආහාර ප්‍රතිපත්තියක්‌ද නැහැ. ලංකාවේ දිනකට පාන් ගෙඩි ලක්‍ෂ 50 ක්‌ කනවා. රෝහල්වලදී රෝගීන්ටත් පාන් කන්න දෙනවා. තුන් වේලටම බත් කෑ ජාතියක්‌. පෘතුගී්‍රසීන් පැමිණීමෙන් පසුවයි පාන් කෑමට පුරුදු වූයේ. පාන් පිටි මෙන් සීනි පරිභෝජනය වැඩියි. දියවැඩියා රෝගීන් වැඩි වුණේ අපගේ ආහාර රටාව වෙනස්‌වීම නිසාය. පාසල් යන කුඩා දරුවන්ට ද පිටි ආහාර වැඩි වශයෙන් කන්නටදී අඩු වයසෙන්ම දියවැඩියා රෝගීන් බවට පත්කරනවා.

කුකුල් මස්‌ පරිභෝජනය වැඩිවී තිබෙනවා. විවිධ හෝමෝන වර්ග කන්නටදී අඩු දින ගණනකින් ලොකු මහත්කරන මෙවැනි සත්තු ආහාරයට ගැනීම අහිතකරයි. ගැහැනු දරුවන් අඩු වයසින් වැඩිවියට පත්වෙනවා. මේ කුකුළු මස්‌ කෑමෙන් නොයෙකුත් ක්‍ෂණික ආහාර වර්ග කෑමට දීමෙන් කුඩා ළමුන් නානාප්‍රකාර රෝගීන් වනවා. දියවැඩියා රෝගීහු අඩුකර ගැනීමට නම් අපේ රටේ ආහාර ප්‍රතිපත්තියක්‌ තියෙන්න ඕන. දේශීය ආහාර වර්ග ධාන්‍ය වර්ග කැකුළු හාල් පරිභෝජනය කිරීමත් අලුත් එළවළු හා පලතුරු මස්‌ වෙනුවට මාළු පාරිභෝජනය කිරීමත් දියවැඩියා රෝගයෙන් මිදීමට හේතු වේ.

කය වෙහෙසා වැඩ නොකිරීමද රෝගී වීමට හේතුවේ. අපේ පැරැන්නෝ ගොවිකම් කළහ. මහන්සි වී වැඩ කළහ. දැන් කන්තෝරුවල ලියන උදවිය වැඩියි. විශ්‍රාම යන්නටත් පෙර රෝගීන් වෙනවා. ව්‍යායාම් කිරීම අවශ්‍යයි. කය වෙහෙසා වැඩ නොකරන අය ව්‍යායාම් කිරීම අත්‍යවශ්‍යයි.

සකල විධ වෛද්‍ය ක්‍රම පුළුල් වෛද්‍ය ක්‍රම සේවා තිබුණ ද අප රටෙහි දිනෙන් දින රෝගීන් සංඛ්‍යාව වැඩිවේ. දිනකට මෙම රෝගය උත්සන්aන වීම නිසා රෝගීන් 30 ක ගේ 40 ක ගේ කකුල් පවා කපා දමන්නට සිදුවේ. තුන් හතරදෙනෙක්‌ මියයති. මේ තරම් දරුණු රෝගයක්‌ ගැන මෑත භාගයේ අපි කතා නොකළෙමු. ලාදුරු, මැලේරියා, කොළරා වැනි රෝග මර්දනය කළා සේ දියවැඩියාව නිට්‌ටාවට සුව කළ නොහැකියි. නමුත් පාලනය කළ හැකියි. දියවැඩියාව යනු බහුවිධ හේතුමත හටගන්නා රෝගයක්‌ බැවින් එය පාලනය සඳහා ද බහුවිධ ප්‍රවේශයක්‌ අවශ්‍යයි. අසහනයෙන් දරිද්‍රතාවයෙන් පීඩනයෙන් පෙළෙන ජන සමාජයක මිනිසුන්ගේ මානසික තත්ත්වයද වෙනස්‌ වී ඇත. ආතතිය නිසා ඇතිවෙන බලපෑමද දියවැඩියාව වැනි රෝගීන් බහුලවීමට හේතු විය. අඩු මානසික ආතතියකින් යුත් සරල මධ්‍යස්‌ථ දිවි පෙවෙත වත්මන් ශ්‍රී ලංකාවේ දක්‌නට නැහැ. දියවැඩියා රෝගීන් ගැන සඳහන් කරන විට අපට නොයෙක්‌වර රෝග ලක්‍ෂණ ගැනත් සිදුවිය හැකි ශාරීරික වෙනස්‌වීම් ගැනත් සායනවලදී දැනගත හැකිය. නිතර මුත්‍රා පිටවීම, නිතර දැනෙන පිපාසය කුසගින්න අධික වෙහෙස සුව නොවන තුවාල. කෙණ්‌ඩ පෙරළීම, හිරිවැටීම්, දෘෂ්ටි අවහිරතා රෝගී ලක්‍ෂණ කීපයකි.

රුධිරයේ සීනි මට්‌ටම ඉහළ යැම ගැන සැළකිය යුතුයි. රුධිර පරීක්‍ෂාවකින් පසු ඖෂධ භාවිත කිරීම අවශ්‍ය වේ.

2006 වර්ෂයේදී මිලියන 177 ක්‌ වූ ලෝක දියවැඩියා ප්‍රජාව 2025 දී මිලියන 380 ක්‌ විය හැකි බවට ගණන් බලා ඇත. තවත් වසර 12 ක්‌ යන විට අපේ රටේ ද දියවැඩියා රෝගීන් තවත් මිලියන ගණනකින් වැඩි විය හැකියි. මේ නිසා දියවැඩියාව ගැන ජනතාව දැනුවත් කිරීම් තව තවත් සිදු කළ යුතුයි. දැනටමත් වැඩිම හානියක්‌ දකුණු ආසියානු රටවලට දියවැඩියාවෙන් සිදුවී තිබේ. ඉන්දියාවේ දියවැඩියා රෝගීන්ගෙන් 19% ක්‌ සිටිති. දිගුකාලීනව පවතින දියවැඩියාව අනතුරුදායකය. ඇස්‌ පෙනීමේ දුර්වලතා හෘද හා රුධිර වාහිනී ආබාධ, වකුගඩු අක්‍රියවීම ස්‌නායු දුර්වලතා පාද අහිමිවීම, ලිංගික ශක්‌තිය හීනවීම යනාදී රෝගී තත්ත්වයන් ඇතිවේ.

වැද්දන්ට දියවැඩියාව නැහැ. ඒ ඔවුන් පරිසරයට අදාළ ආහාර පරිභෝජනය කරන කය වෙහෙසවා කටයුතු කරන බැවිනි. ජපානයේ ද යහපත් ආහාර අනුභව කිරීමේ ප්‍රතිපත්තියක්‌ ඇති බැවින් ඒ අයගේ ආයු කාලය අපේ රටේ අයට වඩා වැඩියි. එදා අපේ රටේ මිනිස්‌සු වෙලට බැහැල උදැල්ලෙන් කය වෙහෙසී වැඩ කළා. නැත්නම් මීහරක්‌ බානක්‌ වෙලට දමල ඒ සතුන් එක්‌ක වෙලේ එහාට මෙහාට ගියා. අද ගොයම් ටික කපන්නෙත් මැෂින් එකෙන්. ගොවියා කරන්නේ වී ටික ගෝනියට දමා ගන්න එක පමණයි. තාක්‌ෂණික මෙවලම් නිසා කය වෙහෙසීම අඩුවුණා. රටේ මිනිසුන්ට දියවැඩියාව වැනි රෝග හැදුණා. කවුද මේවාට වගකිව යුත්තේ. රජය සෞඛ්‍ය සඳහා කොතරම් මුදලක්‌ වැය කරයිද?

1977 න් පසුව මේ රටේ ක්‍රියාත්මක කරන ලද විවෘත ආර්ථික ප්‍රතිපත්තිය නිසා රටට අවශ්‍ය දේ මෙන්ම අනවශ්‍ය දේ ද පිටරටින් ගෙන්වීය. µqඩ් සිටි ආර්ථික ක්‍රමයක්‌ තුළ බඩගින්න විකුණන් කන වානිජ සමාජයක්‌ ඇති විය. ඉහළ මිල ගණන් ගෙවා අප කන කෑම බීම ගැන මීට වඩා සැළකිලිමත් නොවුණොත් අපගේ ආයු කාලය තවත් අඩු විය හැකි බව දඹානේ ඇත්තෝද කියති.

අක්‌මීමන කේ. මතිලාල්
උපුටා ගැනීම  - දිවයින

Gossip Lanka Hot News Previous News Archive