මගේ අගමැතිකමට පත්වෙන්න බලාගෙන හත් අට දෙනෙක්ම ඉන්නවා - Prime Minister D. M. Jayaratne

දැන් කොහොමද ඔබගෙ අසනීප තත්ත්වය ?

දැන් බොහෝ දුරට සුවයි. ඒත් සම්පූර්ණයෙන්ම සුවය ලැබිමට නම් තවත් එක ශල්‍යකර්මයක් සිදුකිරීමට තිබෙනවා. ඒ ශල්‍යකර්මයත් ඉතා ඉක්මනින්ම සිදුකර ගැනීමටයි බලා‍පොරොත්තු වන්නේ.

ඔබට මොකක්ද ඇතිවූ අසනීපය.?

මගේ එක කනකයි මේ අසනීපය ඇතිවුණේ. හැබැයි ඒ කනේ අමාරුව නිසා මට ආහාර ගැනීමට අපහසු වුණා. කොහොම හරි මාස 6යි දවස් එකොළහක් යනතුරුම ජීවත් වුණේ කිසිම කෑමක් නොකා එන්නත් මාර්ගයෙන් ලබා ගන්නා ආහාර වලින්.



ඇයි එවැනි කර්ණාබාධයක් ඇතිවුණේ?

මම හිතන්නේ මම ඒ දවස්වල නිතර නිතර හෙළිකොප්ටර්වලින් ගමන් කෙරුවා. සමහර දවස්වලට රැස්වීම් එකොළහකට විතර ගුවනින් යන්න සිද්ධ වුණා. එතෙන්දි සීතලටද කොහෙද ‍ලේ ඝනවීමක් ඇතිවෙලා කනේ පැසවීමක් ඇතිවුණා. සිංගප්පූරුවේ වගේම ඇමෙරිකාවේ දොස්තරලගෙන් බේත් අරගෙනයි අසනීපය මේ තරමට හරි සුවකර ගත්තේ.

දැන් ඔබ සුපුරුදු පරිදි රාජකාරි කටයුතුවලට සහභාගි වෙනවද?

ඔව්, මම කැබිනට් රැස්වීම්වලට යනවා. කොළඹ හා ළඟපාත තිබෙන උත්සවවලට එහෙමත් සහභාගි වෙනවා. ඒත් දුරබැහැර රැස්වීම්වලට යන්නේ අඩුවෙන්.

ඔබ අසනීප වී ඇමෙරිකාවේ ප්‍රතිකාර ලබන කාලයේ ඔබේ අගමැති ධුරය ඩැහැ ගැනීම සඳහා සමහර දේශපාලනඥයන් සෑහෙන්න දත කෑවා නේද?

ඔව්, සමහරු ඒ ගැන උනන්දු වුණ බව නං මටත් ආරංචියි. ඒත් වැඩක් නෑ. මොකද ජනාධිපතිතුමාට කැමැති කෙනෙක්නේ අගමැති හැටියට පත් කරන්නේ.

ඒ ගැන උනන්දුවෙන සමහර උදවිය ඔබ ඇමෙරිකාවේ ප්‍රතිකාර ලබන කාලයේ ඔබට විරුද්ධව ජනාධිපතිතුමාට කේළම් එහෙම කියන්නත් ඇති?

ඒ ගැන නං මම දන්නෙ නෑ. ඒත් මම එක දෙයක් දන්නවා. අපේ ජනාධිපතිතුමා ඔය එක එක්කෙනා කියන කේළම් අහන්නෙ නැ. ඒ නිසා කවුරු මොනවා කිව්වත් එතුමා ඒවා ගණන් ගන්නෙ නෑ. ඒ කනෙන් අහලා මේ කනෙන් පිට කරනවා.

යම් යම් අය ඔබට බලපෑම් කෙරුවද අගමැතිකම් කරන්න දැන් ඔබ තුමාට බෑ. ඒ නිසා අස්වෙන්න හෝ තනතුරෙන් විශ්‍රාම ගන්න කියලා?

නෑ ..... එහෙම නං මට කවුරුවත් බලපෑම් කරන්න ආවෙ නෑ. මම දන්නවා මේ අගමැතිකමට පත්වෙන්න බලාගෙන හත් අට දෙනෙක්ම ඉන්න බව. හැබැයි ඒ කවුරුවත් මට කිසිම බලපෑමක් කරන්න නං ආවෙ නෑ. ඒ වගේම තමයි ඔවුන් අග්‍රාමාත්‍ය ධුරය ගැන බලා‍පොරොත්තුවෙන් ඉන්න එක ගැනත් දොසක් කියන්න බෑ. ඒක සාමාන්‍ය මනුෂ්‍ය ස්වභාවය නේ.

ඔබත් ඒ දිනවල අගමැතිකම ගැන බලා‍පොරොත්තුවෙන් හිටියද?

මම ඒ ගැන තදින් බලා‍පොරොත්තු තියාගෙන හිටියනං මට ඒක ඒ දවස්වලම ගන්න තිබුණා. ඒත් මගේ හිතේ තිබුණේ ලැබුණොත් ගන්නවා කියන අදහස මිසක් කොහොම හරි මේ රටේ අගමැති වෙනවා කියන එක නොවෙයි. වෙන එකක් තියා 1994 ට කලින් එ.ජා.ප. ආණ්ඩුව කාලෙත් විජේතුංග ජනාධිපතිතුමා මට අගමැතිකම දෙන්න හැදුවා. ඒත් මම කිව්වා මගේ පක්ෂය අතහැර ගිහින් ලබන අගමැතිකමෙන් මට වැඩක් නෑ කියලා.

ඔබ තමන්ගේ අසනීප තත්ත්වය මත ස්වේච්ඡාවෙන්ම අගමැතිකමෙන් ඉල්ලා අස්වීමට ගිය බවක් සමහර වෙබ් අඩවිවල පළ වී තිබුණා.

නෑ .... ඒක වැරදියි. අගමැතිකමෙන් ඉල්ලා අස්වෙන්න හෝ විශ්‍රාම ගන්න මට අවශ්‍ය නෑ. හැබැයි ජනාධිපතිතුමාට බලය තිබෙනවා එතුමා කැමැති අවස්ථාවක වෙනත් ඕනෑම කෙනෙකු අගමැති හැටියට පත් කරන්න. එතුමා එවැනි ඉල්ලීමක් කෙරුවොත් මම ඊට ඉඩදී අගමැතිකමෙන් ඉවත්වෙනවා. හැබැයි මේ දක්වා නං එවැනි යෝජනාවක් ජනාධිපතිතුමාගෙන් මට ලැබිලා නෑ. ඒ නිසා අගමැතිකමෙන් ඉල්ලා අස්වීමට හෝ විශ්‍රාම ගැනීමට මට අවශ්‍ය නෑ.

වර්තමාන කැබිනට් මණ්ඩලය 58-65 දක්වා මෑතකදී වැඩිකර තිබිම ගැන මොකක්ද ඔබේ අදහස?

අද මේ රටේ දේශපාලන පක්ෂ ගණනාවක් ආණ්ඩුවට එකතු වී තිබෙනවා. ඒ පක්ෂවල ප්‍රබලයන් කැබිනට් මණ්ඩල සාමාජිකයන් හැටියට පත් කෙරුවම ඒ පක්ෂවල අදහස් හා යෝජනාත් ආණ්ඩුවට ලබා ගැනීමට හැකිවෙනවා. ඒක රටේ යහපතට ප්‍රයෝජනවත් වෙනවා.

ඒත් කැබිනට් මණ්ඩලය වැඩිවෙන කොට ඒ අමාත්‍යවරුන් නඩත්තු කරන්නත් විශාල මහජන මුදල් කන්දරාවක් වැය වෙනවා?


ඔව්, එහෙමත් මතයක් තිබෙනවා තමයි. කැබිනට් මණ්ඩලය වැඩි කිරීමෙන් පෙරට වඩා වැඩි මුදලක් වැය කිරීමට සිදුවන බවත් ඇත්ත. ඒත් වැඩි පිරිසකගේ අදහස් සැලකිල්ලට ගැනීමටත්, ඒවා ක්‍රියාත්මක කිරීමටත් හැකි වන නිසා ඒ වියදමට වඩා වැඩි මෙහෙවරක් එමගින් සිදු වෙනවා.

මෑතතදී සීනි ඇමැතිවරයෙකු පත්කළ විදියට අනාගතයේදී කරවල ඇමැතිවරු, බොම්බයි මොටයි ඇමැතිවරු එහෙමත් පත් කරාවිය කියලයි විපක්ෂය කියන්නේ.?

ඒක විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ නොදන්නාකම නිසා කියන දෙයක්. දැන් බලන්න අද අපේ රටට සීනි ආනයනය කිරීම සඳහා අති විශාල මුදලක් වැය වෙනවා. අපේ රටේ සීනි කර්මාන්තය වැඩි දියුණු කරගන්න පුළුවන් නං ඒ මුදල් ප්‍රමාණය රට තුළ රඳවා ගැනීමට ඉඩ ලැබෙනවා. ඊළඟට ඒ නිසා රැකියා අවස්ථා වැඩිවෙනවා. ඉතින් ඒ ගැන හිතල තමයි ජනාධිපතිතුමා සීනි කර්මාන්ත සංවර්ධනය සඳහා ඇමැතිධුරයක් ඇතිකර තිබෙන්නේ.

මෙදා සැරේ ඇමැති මාරුවේදී සමහර ඇමැතිවරුන්ගේ අමාත්‍යංශ වෙනස් කර තිබෙනවා. ඔබට හිතෙන විදියට ඇමැතිවරුන්ගේ අමාත්‍යංශ වෙනස් කිරීමෙන් යහපතක් වෙනවද?

ඔව්, සමහර අමාත්‍යංශ භාරව සිටි ඇමැතිවරුන් වෙනස් කර ඒ සඳහා වෙනත් අය පත් කිරීමෙන් වැඩි ප්‍රගතියක් ලබා ගැනීමයි ජනාධිපතිතුමා එමගින් බලා‍පොරොත්තු වෙන්න ඇත්තේ.

ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් පත් කිරීමේ ක්‍රමය ශ්‍රී ලංකාවට නොගැළපෙන බවයි ‍‍‍ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු වන පියසේන ගමගේ මහතා කියන්නේ?

ඒක එතුමාගේ පෞද්ගලික අදහසක් වෙන්න ඇති. ඒ කොහොම වෙතත් ‍‍‍ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් පත්කර තිබෙන්නේ ඊට අදාළ අමාත්‍යංශවලට උපදෙස්දීමේ අදහසිනුයි. බොහෝ අවස්ථාවලදී කැබිනට් මණ්ඩලයට විවිධ යෝජනා ඉදිරිපත් වෙන කොට ඒ ගැන විමර්ශනය කිරීමේ වගකීම ‍‍‍ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන්ට තමයි පැවරෙන්නේ. තමන් දීර්ඝ කාලයක් තිස්සේ මේ රටේ ඇමැතිවරුන් වශයෙන් කටයුතු කිරීමෙන් ලැබූ ප්‍රවීණත්වය හා පළපුරුද්ද අනුව ඔවුන්ගේ අදහස් ලබාගැනීම ඉතා වැදගත් වෙනවා.

අද රට තුළ පවතින ඇතැම් ආගමික අන්තවාදය හා මූලධර්මවාදී ක්‍රියාවන් හඳුනා ගෙන ඒවා මැඩලීමට විශේෂ තේරීම් කාරක සභාවක් පත් කිරීමට යන බවක් සභානායක නිමල් සිරිපාල ද සිල්වා ඇමැතිවරයා පසුගියදා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කර තිබුණා. ඒත් බුද්ධ ශාසන නියෝජ්‍ය ඇමැති එම්. කේ. ඩී. එස්. ගුණවර්ධන මහතා කියන්නේ එවැනි ආගමික අන්තවාදයක් හෝ මූලධර්මවාදී බලපෑමක් රට තුළ නොමැති බවයි.

ඔව්, එවැනි තීරණයක් නං අරගෙන නෑ. සමහර විට එතුමා එහෙම කියන්න ඇත්තේ මතුවට එවැනි යෝජනාවක් ඉදිරිපත් කිරීමේ අදහසින් විය හැකියි. එකම ආණ්ඩුවක වුණත් ඇමැතිවරුන් දෙදෙනකුගෙන් එවැනි පරස්පර විරෝධී අදහස් නොයෙක් විට මතුවෙනවා. ඒක තමයි මේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ ස්වභාවය.

ඇයි මේ සමහර ඇමැතිවරුන් එකිනෙකාට එරෙහිව අවලාද නගන්නේ?

ඒක සම්පූර්ණයෙන්ම වැරදියි. සමහර කාරණා සම්බන්ධයෙන් විවිධ පක්ෂවලට අයත් ඇමැතිවරුන් අතර පරස්පර විරෝධී මත තිබෙන්න පුළුවන්. ඒ ගැන කැබිනට් මණ්ඩලයේදී නොයෙක් වාද විවාද හා විවේචන කරගන්නත් පුළුවන්. ඒත් ඒ සේරම වාද විවාද හා විවේචන කැබිනට් මණ්ඩලය තුළට පමණක් සීමා කරගත යුතු වෙනවා. එයින් පිටතට ගියාම හැම දෙනාම සාමූහික වගකීම යටතේ එකම අදහසක් පමණයි කියන්න ඕනෑ. ඒත් අද ඉන්න සමහර ඇමැතිවරුන් ඒ ගැන හිතා මතාම අමතක කරලා විවිධ මත ප්‍රකාශ කරනවා. ඒක වැරදියි එක ඇමැතිවරයෙක් එක දෙයක් කියන්නත්, තවත් ඇමැතිවරයෙන් ඊට වඩා වෙනස් දෙයක් කියන්නත් කැබිනට් සාමූහික වගකීම යටතේ පුළුවන්කමක් නෑ. ඒ බව ඔවුන් වටහා ගන්න ඕනෑ.

-ලක්බිම (සාකච්ඡා කළේ නිහාල් ජගත්චන්ද්‍ර )

Gossip Lanka Hot News Previous News Archive