දක්‍ෂතා දක්වන්නේ නැතිනම් මහේල නෙමෙයි කවුරු උනත් එළියේ - Sanath Jayasuriya


කලක් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ලොව බැබලවූ පිතිකරු ඔහුය. ලොව  ඕනෑම පන්දු යවන්නෙක් භිතියට පත් කලේ ඔහුය. 
සුද්දාගේ ක‍්‍රමයෙන් පිට පැන අපේ ක‍්‍රමයට රිදෙන්නට ගසමින් වහලයට උඩින් යන්නට පන්දුවට ගැහුවේ ඔහුය. හද්දා පිටිසර අම්මලා දන්නා ක‍්‍රිකට්ටුවක් නැතත් එකල උන්ගේ බත් මුට්ටිය රොස් කලේ ඔහුය.
අපේ කාලයේ ක‍්‍රිකට් වීරයා ඔහුය.
සනත්  ජයසූරිය’ ඔහු ගැන අමුතු හදුන්වාදීමක් අවශ්‍ය නොවේ.එහෙත් ඔහු දේශපාලඥයෙකු ලෙස කටයුතු කරමින් ක‍්‍රිකට් තේරීම් කමුටුවේ සභාපතිවරයා වීම පිලිබද විවිධ කතාබහ ඇතිවෙමින් පවතී.
ඒ පිළිබද සනත් පැවසුවේ මෙවන් අදහසකි.
ඔබ ක‍්‍රිකට් තේරීම් කමිටුවට එන්න තීරණය කළේ ඇයි? 
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය මගෙන් ඇහුවා ක‍්‍රිකට් තේරීම් කමිටුවට මාගේ නම දාන්නද කියලා. මම ඒකට කැමති වුනා. පස්සේ ඒ අය මාව සභාපති තනතුරට පත් කළා එච්චරයි.
කව්ද ඔබට ආරාධනා කළේ ඇමතිවරයාද ?
නැහැ ක‍්‍රිකට් ආයතනයේ ක‍්‍රමවේදයක් තියනවා. ඒ  අනුව ඔවුන් යෝජනා කරන නම් ඇමතිවරයාගේ අනුමැතියට  යවනවා. ඒ අනුව තමයි මගේ නමත් අනුමැතියට යවලා තිබුණේ.
හොදයි ඔබ හා සමකාලීනව ක‍්‍රීඩාකළ ක‍්‍රීඩකයින් තවම ක‍්‍රීඩා කරනවා. මේ නිසා ඔබ තේරීම් කමිටු බලධාරියා වීම ඔවුන්ට බලපාන්නේ නැද්ද ?
එහෙම විශේෂ බලපෑමක් නෑ. එහෙම නම් මම ක‍්‍රිඩා කරන කාලේ අරවින්ද තේරීම් කමිටුවේ සභාපති වෙලා හිටියේ. අරවින්ද මාත් එක්ක ක‍්‍රිඩා කලානේ. මට ඒක බලපෑමක් වුනේ නෑ. මේ වගේ ප‍්‍රශ්ණ හදන්න උත්සාහා කරනවා සමහරු.
ඔබ මහේල ජයවර්ධන කණ්ඩායම ඉවත් කරන්න මෙම තනතුර භාරගත්තද ?
අපි  ඇත්තටම ඔයවගේ දේවල් ගැන හිතලවත් නෑ. මහේල ඉවත් කරන්නද සංගක්කාර ඉවත් කරන්නද කියලා. අපි තීරණය කළ යුත්තේ ඔවුන් දක්වන දක්‍ෂතා මතයි. මේක මම තනියම කරන වැඩක්ද? නැහැනේ. හෂාන් ඉන්නවා. ප‍්‍රමෝද්‍ය ඉන්නවා. මේ දෙන්නා එක්සත් ජාතික පක්‍ෂයේ දේශපාලනය කළ අය. ඉතින් මට අවශ්‍ය දේ කරන්න පුලූවන්ද? අපිි සාමූහිකව තීරණය කරලයි ප‍්‍රශ්ණ විසදන්නේ. එහෙම නැතුව සනත් ජයසූරියට  ඕනේ විදියට නෙමෙයි. නමුත් දක්‍ෂතා දක්වන්නේ නැතිනම් මහේල නෙමෙයි කවුරු උනත් එළියේ තිබ්බාට අපි පසුබඩ එන්නේ නෑ. ගැහුවොත් ඇතුලේ. නැත්නම් එළියේ. එච්චරයි.
ඔබේ එක් අරමුණක් යොවුන් නායකත්වයක් ශ‍්‍රී ලංකා කණ්ඩායමට ප‍්‍රවිශ්ඨ කිරීම බව පැවසෙනවා.
ඔව්. වෙන්න පුලූවන්. අපි තවම හිතලා නැහැ. නායකයා ගැන ඉක්මනින් ඒ ගැන තීරණය කරනවා. එය යොවුන් ක‍්‍රීඩකයෙක් වීමේ වැඩි ඉඩකඩක් තියනවා.
ගමේ ඉන්න දක්‍ෂ යොවුන් පාසැල් ක‍්‍රීඩකයෝ ඉදිරියට යන්න ඔබේ වැඩපිලිවෙලක් තිබෙනවාද ?
ඔව්. ඒ සදහා අපි හොද වැඩපිලිවෙලක් ක‍්‍රියාවට නංවමින් ඉන්නවා. හැම ක‍්‍රිඩා සමාජයකින්ම දක්‍ෂ ක‍්‍රීඩකයෝ හයදෙනෙක් අපි හොයාගන්නවා. ඔවුන් එක තැනකට ගේනවා. ඔවුන්ට අවශ්‍ය පුහුණුව සියල්ල ලබාදීලා ඔවුන් ජාතික තලයට ගේන්න තමයි මේ උත්සාහ කරන්නේ. ඒ සදහා ප‍්‍රමෝද්‍ය වික‍්‍රමසිංහ හා හෂාන් තිලකරත්න පූර්ණ කාලීනව යොදවා තිබෙනවා.
ඔබේ කමිටුවේ සිටින්නේ විවිධ මත දරන අය. මේ අය එක් තැනකට ගේන්න ඔබට පුලූවන්ද?
ඇත්තටම ඉතාමත් වැදගත් ප‍්‍රශ්ණයක්. ඒක අපි  විවිධ මත දරන අය වීම තමයි මෙහෙදී වැදගත්ම දේ වෙන්නේ. එතකොට ඉතා හොද  කණ්ඩායමක් නිර්මාණය කරගන්න පුලූවන්. එක් අයගේ මතයක් නියෝජනය වන්නේ නැහැ. දැන් මහේල ජයවර්ධන අයින් කළොත් ඒක මගේ තනි මතයට නොවෙයි. ලංකාවේ ප‍්‍රවීණම ක‍්‍රිකට් ක‍්‍රීඩකයෝ පස්දෙනෙක්ගේ මතය එය බවට පත් වෙනවා. ඉතින් අපි එකට වැඩකරනවා. ඔවුන්ගේ සහාය මට ඉහලින්ම ලැබෙනවා.
ඔබට පෙර තිබූ ක‍්‍රිකට් තේරීම් කමිටුව ගැන මොනවද කියන්න තියෙන්නේ ?
ඒ  අය ගැන  මට කතා කරන්න දෙයක් නෑ. මං වරක් ඔවුන් විවේචනය කලා. ඒ කණ්ඩායමේ සංයුතිය ගැන ඔවුන් නිවැරදි දේ කළේ නැති බව කිව යුතුයි. ඒ නිසා සමහර තරග පරාජය වුණා.
ඔවුන් ප‍්‍රකාශ කරලා තියනව ඔවුන්ට කිසි දැනුම් දීමක් කලේවත් නෑ කියලා.
ඒක මම  දන්නේ නෑ. ඔවුන්ගේ කාලය පසුගිය දෙසැම්බර් මාසයෙන් අවසන් වෙලා තිබුනේ. නමුත් තවත් මාසයක් දීර්ඝ කරලා තිබුණා. ඒ අනුව ඔවුන් ජනවාරි මාසයේ ඔවුන්ගේ සේවය අවසන් කළා. ඔවුන්ගේ ප‍්‍රකාශය මට අදාල නැහැ.
අර්ජුන රනතුංග ක‍්‍රිකට් සභාපතිවරයා වීමේ ඉඩකඩක් නිර්මාණය වෙමින් පවතිනවා. එහෙම් වුණොත් ඔබට ඔහු සමග වැඩ කරන්න පුලූවන්ද ?
ඔවු. කිසිම ගැටලූවක් නෑ. ඔවුන් කරන්නේ පරිපාලනය. අපි කරන්නේ ක‍්‍රිකට් ක‍්‍රීඩාව සදහා දක්‍ෂයෝ සොයා යෑම. ඉතින් ගැටලූවක් නෑ. මම අර්ජුන සමග වසර ගණනාවක් ක‍්‍රිඩා කළ අයෙක්. අපි හොදින් දන්නවා. ඉතින් කවුරු සභාපති උනත් මට ගැටලූවක් නෑ.
වත්මන් ක‍්‍රිකට් ලේකම් සභාපති යන දෙදෙනා සහ ඔබ අතර සම්බන්ධය කෙසේද?
ඉතා හොද සම්බන්ධයක් අවබෝධයක් අප අතර තිබෙනවා. එය ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ ඉදිරියට සංවර්ධනය ඉතාමත් වැදගත්. අපේ අරමුණ නිල්පාට, කොළපාට, රතුපාට දේශපාලනය මෙතැනට ගෙන ඒම නෙමෙයි. අපේ ක‍්‍රිකට් ක‍්‍රීඩාව දියුණු කරන්නේ කොහොමද නියම  දක්‍ෂ  කණ්ඩායමක් තෝරාදෙන එකයි අපේ වගකීම. ඒකට උදවු කරන්නැයි මමත් මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලීමක් කරනවා.
ක‍්‍රීඩා ඇමතිවරයා ඔබට මොනවාද කිව්වේ ?
ඇත්තටම ඔහු මා පිළිබදව තබන විශ්වාසය මම ඉටු කළ යුතුයි. ඔහු මා සමග ඉතාමත් හොද සබදතාවයක් පවත්වන ඇමතිවරයෙක්. ක‍්‍රිකට් උඩට ගන්න කටයුතු කරන්න කියලා ඔහු නිතරම කියන්නේ. ඇත්තටම ඔහුට ස්තුතීවන්ත විය යුතුයි. මා කෙරෙහි විශ්වාසය තැබීම පිළිබදව.

Gossip Lanka Hot News Previous News Archive