සැමට සීවලී යන්ත්‍රයේ පිහිට - Seevali Yanthraya

සීවලී මහරහතන් වහන්සේ බෞද්ධයන්ට වැදගත් වනුයේ උන්වහන්සේගෙන් අප බලාපොරොත්තු වන්නේ ධර්ම ඥානය පමණක් නොවන නිසාය. සීවලී මහරහතන් වහන්සේ බුද්ධ කාලීන සමාජයේ බුද්ධ ශාසනයේ සිටි ආහාරපාන භවභෝග ලැබීම් අතින් අගතැන්පත් ස්වාමීන් වහන්සේය. උන්වහන්සේ වැඩවාසය කරන ඕනෑම ස්ථානයක ආහාර පාන හිඟයක් නොවූ බව කියැවේ.
 (ලග්න ස්ථානයේ කේතු ග්‍රහයා ඇත්නම් ඔහුටද ආහාර පාන හිඟයක් නොවේ) සීවලී මහරහතන් වහන්සේගේ උපත ගැන යම් යම් විස්තර සඳහන් වෙතත් අපට අවශ්‍ය වනුයේ උන්වහන්සේගේ 'දානය' ලැබීමේ වාසනා ගුණය ගැන කතා කිරීම නිසා ඒ ගැන විමසා බලමු. සීවලී මහරහතන් වහන්සේට "දානයෙන්" අඩුවක් නොවූ බව සත්‍ය නම් උන්වහන්සේට පුද පූජා පවත්වන පුද්ගලයනටද ආහාර පානවලින් හිඟයක් නොවන බව විශ්වාස කෙරේ.

 නිවෙසේ බුද්ධ පින්තුරයක් ප්‍රදර්ශනය කළ පමණින් බෞද්ධයකු වන්නේ නැත. උදේ සවස විහාරස්ථානයකට ගිය පමණින්ද බැතිමතකු නොවේ. බෞද්ධ චාරිත්‍ර වාරිත්‍ර ආරක්ෂා කරන්නේ නම් පමණක්, අඩුම වශයෙන් පන්සිල් හෝ ආරක්ෂා කරන්නේ නම් බෞද්ධයකු බවට පත්වේ. ඒ ලෙසින්ම නිවෙසේ හෝ ආයතනයේ සීවලී මහරහතන් වහන්සේගේ පින්තූරයක් හෝ සීවලී යන්ත්‍රයක් එල්ලා තැබූ පමණින් ඔබට ධන ධාන්‍ය ලැබෙන්නේ නැත. එයට හේතු ඇත. කළයුතු වන්නේ සීවලී යන්ත්‍රයට හෝ සීවලී මහරහතන් වහන්සේගේ පින්තූරයට නිසි වතාවත් පවත්වා අපට අවශ්‍ය දේ ඉල්ලීමයි. සීවලී මහරහතන් වහන්සේගේ හෝ ලක්ෂ්මී මෑණියන්ගේ පින්තූර එල්ලූ පමණින් කිසිදු "සුගතියක්" ලැබුණේ නැතැයි බොහෝ දෙනා පවසන්නේ තමා අතින් සිදුවුණු අඩුපාඩු නොදැනය. ඒ නිසා අවශ්‍ය දේ ලබාගන්නට නම් අවශ්‍ය දේ කළ යුතුයි.

ග්‍රහ අපලයට යන්ත්‍රයක් බෙල්ලේ එල්ලාගත් පමණින් සුවයක් නොලැබේ. ගුප්ත විද්‍යා උපදෙස් අනුව පැලැඳගත් යන්ත්‍රයට නිසි සේ උපස්ථාන කළ යුතුයි. ඒ ලෙසම සීවලී යන්ත්‍රයටද නිසි පිළිවෙත් සපුරාලන්නේ නම් අවශ්‍ය සෙත් ශාන්තිය ලැබේ. ඇතැම් නිවෙස්වල බුද්ධ ප්‍රතිමා හෝ බුද්ධ පින්තූර මෙන්ම සීවලී පින්තූර සහ දේව පින්තූර ප්‍රදර්ශනය කළද එවා මාස ගණනකින් පිරිසුදු නොකිරීම නිසා මකුළුදැල් බැඳී හෝ දූවිලිවලින් පිරී ඇත. ඒ නිසා සීවලී යන්ත්‍රයෙන් හෝ සීවලී හාමුදුරුවන්ගෙන් සම්පත් යස ඉසුරු ලබාගන්නට නම් ඊටද සැලකීම අවශ්‍යයි.
 පළමුවෙන්ම සැලකිලිමත් විය යුතු කාරණය නම් සීවලී මහරහතන් වහන්සේගේ පින්තූරයක් එල්ලන්න පෙර එම නිවෙසේ බුද්ධ ප්‍රතිමාවක් හෝ බුද්ධ පින්තූරයක් තිබිය යුතුයි. සීවලී මහරහතන් වහන්සේ බුදු රජාණන් වහන්සේගේ "ගෝලයකු" බවත් එපමණක් නොව බෞද්ධයන් වන අපේ උත්තම අති උත්තම පූජනීය ශේ‍ර්ෂ්ඨ ගුරුවරයා බුදුන් වහන්සේ බවත් සිහි තබාගැනීම වැදගත්ය. ඒ නිසා බුද්ධ රූපයට පහතින් ඒ ස්ථානය අසලම සීවලී යන්ත්‍ර සහිත සීවලී මහරහතන් වහන්සේගේ පින්තූරය එල්ලා පුද පූජා පැවැත්වීම වැදගත්ය. පළමුව තෙරුවන් සරණ ගොස් ඉන්පසුව සීවලී මහරහතන් වහන්සේට වැඳ නමස්කාර කොට පිළිවෙත් පුරමු.
 සීවලී යන්ත්‍රයෙන් ප්‍රයෝජන ලැබීමට නම් පහත සඳහන් ගුණාංග තිබිය යුතුය.
  1. සීවලී යන්ත්‍රයේ නියමිත (ගුණාත්මක) දිග පළල තිබීම
  2. සීවලී යන්ත්‍රයේ රේඛා කිසිවක් එක මත කැපී නොයෑම
  3. සීවලී යන්ත්‍රයේ රේඛා සහ අක්ෂර නිවැරැදිව ඉහළට ඉලිප්පී තිබීම (අතින් ස්පර්ශ කළ හැකිවීම)
යන්ත්‍රයක් නිර්මාණය කරනවිට නියමිත පත්‍ර වර්ග සඳහන් වේ. ඒවා "රන් පත්" "රිදී පත්" "තඹ පත්" හෝ පුස්කොළ (තල්කොළ) වශයෙනි. මෙය පුරාණයේ සිට පැවැති නියමයකි. සාමාන්‍ය කඩදාසිවලින් අතින් ඇන්දත් මුද්‍රණය කළත් ඒක ස්පර්ශ කළ නොහැකි නිසා ගුණාත්මක බවින් අඩුය. බුදුන් වඳිනවිට හෝ සීවලී මහරහතන් වහන්සේට පුද පූජා නොවීම බස් රථයට, දුම්රියට දුවන වාරේ නොකර, පාවහන් සහ හිස්වැසුම් නොමැතිව ඒ සඳහා විනාඩි දහයක් හෝ කාලය ගත කළහැකි විය යුතුය. එසේම මේ වන්දනාමාන කිරීමේදී නිවෙසේ සියලු දෙනා එකවර කිරීම වැදගත්ය. බොහෝ නිවෙස්වල ගෘහ මූලිකයා හෝ ගෘහණිය (තාත්තා හෝ අම්මා) පමණක් මේ පුද පූජා පැවැත්වීම පැහැදිලිය. එහෙත් නිවෙසේ සියල්ලන්ම දිනකට විනාඩි දහයක් බුදුන් වැදීමට නොහැකි තරම් සමාජය සංකීර්ණ වී තිබේ.
 සීවලී යන්ත්‍රයට පුද පූජා පැවැත්වීමෙන් පහත සඳහන් අරමුණු සාක්ෂාත් කර ගත හැකිය.
  1. නිවෙසේ ධන ධාන්‍ය අඩුපාඩුවක් නොවීම
  2. නිවෙසේ ආහාර පාන අඩුවක් නොවීම (කුසගින්නේ ඉන්නට නොවීම)
  3. දරු සම්පත් නොමැති අයට දරු සම්පත් ලැබීම
  4. අවිවාහක අයට විවාහවීමට වාසනාව ලැබීම
  5. නිවෙසේ සාමය වර්ධනය වීම
  6. ව්‍යාපාර ස්ථානවල දියුණුව
නිවෙසේ පවුලේ සියල්ලන් එක්ව පූජා පවත්වන්නාක් මෙන් ව්‍යාපාර ස්ථානයෙන් හැකි තරම් සේවක සංඛ්‍යාවක් එක්කර ගැනීම වැදගත්ය. මේ ප්‍රතිඵල නෙළා ගන්නට ඔබගේ කැපවීම වැදගත්ය. සීවලී යන්ත්‍රයට පුද පූජා පවත්වනවිට "සීවලී පිරිත" හෝ නමෝ සිද්ධ සීවලී යන ගාථා පාඨය තුන් වරක් කියවන්න. එවිට නිවෙසේ "මූ දේවිය පලාගොස් සීදේවිය" වඩිනු ඇත. ප්‍රතිඵල එක් දිනකින් නොව එකදිගට දින 21 (විසි එකක්) පමණ කරනවිට ප්‍රතිඵල නෙළාගත හැකිය. එසේම සීවලී වන්දනාවට මෙන්ම බුද්ධ වන්දනාවටද නියමිත වේලාවක් වෙන්කර ගන්න. දිනපතා උදේ සවස කියවන වේලාවට පුද පූජා පැවැත්වීම වැදගත්ය. එසේම සීවලී මහ රහතන් වහන්සේට පූජා කරන "පැන් බඳුන" පැයකින් පමණ එතැනින් ඉවත්කරන්න. සාධු! සාධු!! නාදය කොට සීවලී පිරිත - සීවලී මන්ත්‍රය ඔබේ මුවින් පිටවන විට ඔබට වාසනාව උදාවේවි.
  
ජෝතිෂවේදී
එස්. වීරරත්න

Seevali Yanthraya

Gossip Lanka Hot News Previous News Archive