1988 / 1989 වසරවල දකුණේ ඇතිවු අර්බුදකාරී තත්ත්වය සිවිල් යුද්ධයක් බවත්, සිවිල් යුද්ධයක් යනු සාදයක් නොවන බවත්, එහි පාර්ශවකරුවෙකු බවට ජනතා විමුක්ති පෙරමුණ ද පත්වු බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ මහතා ඊයේ (07) අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.
ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත්වීමෙන් පසු විමල් වීරවංශ අමාත්‍යවරයා විසින් රචනා කරන ලද 'නැත්ත වෙනුවට ඇත්ත 'කෘතිය සම්බන්ධයෙන් නඩු විභාගය කොළඹ වාණිජ මහාධිකරණයේදී ඊයේ (07) විභාද වූ අතර, එහිදී විත්තියේ නීතිඥ ගෝමින් දයා ශී‍්‍ර මහතා විසින් ඇසු හරස් ප්‍රශ්න හමුවේ අමරසිංහ මහතා එසේ පැවසිය.
පැමිණිලිකාර පාර්ශවය වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ මහතා අධිකරණයේ පෙනී සිටියේය.එම කාලය තුළ පාලකයන් රට තුළ දැඩි මර්දනකාරී ප්‍රතිපත්තියක් අනුගමනය කළ බවත්, සෝමවංශ අමරසිංහ මහතා විත්තියේ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් කියා සිටියේය. සිවිල් යුද්ධයක් යනු සාදයක් නොවන බවත්, එහිදී ආයුධ භාවිත කිරීම සිදුවන බවත් ඔහු ප්‍රකාශ කළේය.
88 / 89 වකවානුවේ ප්‍රභූන් ඝාතනයට ලක්වූයේ දැයි විත්තියේ නීතිඥවරයා ජනතා විමුක්ති පෙරමුණු නායකවරයාගෙන් ප්‍රශ්න කල විට, ඔහු ඊට පිළිතුරු ලබාදෙමින් කියා සිටියේ, සිවිල් යුද්ධයක් අවස්ථාවේදී ඝාතනයට ලක්වු ජනතාව අතර ප්රභූන්ද සිටිය හැකි බවයි.2005 ජනාධිපතිවරණයේදී ආණ්ඩුවට එක් නොවී එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහය පළ කිරීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර තිබූ බව සෝමවංශ අමරසිංහ මහතා ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත්, නව රජයේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙන අවස්ථාවේදී තමා ඊට සහභාගී වූ බවත්, එහිදී දිවුරුම් දුන් අමාත්‍යවරුන් දෙස බැලීමේදී ආණ්ඩුවට එක්වූයේ නම් වඩාත් යහපත් බව තමා එහිදී තීරණය කළ බව ඔහු මෙහිදී කියා සිටියේය.
තමාගේ එම සිතුවිල්ල පක්ෂ මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කළ අවස්ථාවේදී එය පරාජයට පත්වූ බව ජනතා විමුක්ති පෙරමුණු නායකයා විත්තියේ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් වැඩිදුරටත් කියා සිටියේය.
මෙහිදී අමාත්‍ය විමල් වීරවංශ මහතා ද සාක්ෂි ලබාදුන්නේය.
අමාත්‍ය විමල් වීරවංශ මහතා රචිත 'නැත්ත වෙනුවට ඇත්ත' කෘතියේ ඔහු ජනතා විමුක්ති පෙරමුණේ සිටියදී එහි මධ්‍යම කාරක සභාවේ සාකච්ඡාවට ලක්වු විවිධ ලියවිලි අඩංගු වී තිබිණ. එම ඇතැම් ලියකියවිලි අනවසරයෙන් උපුටාගෙන කෘතියේ පළ කිරීම බුද්ධිමය දේපළ පනතට අනුව වංචාවක් බව පැමිණිල්ලේ සඳහන් වේ.
පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණේ ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ මහතා සහ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාය. ඒ අනුව මෙම කෘතිය නැවත ප්රකාශනය, බෙදාහැරීම හා අලෙවිය වළක්වාලමින් වාරණ නියෝගයක්ද නිකුත් කර තිබිණ.
මෙම නඩුව මැයි මස 20 වැනිදා යළි කැඳවීමට තීරණය විය.