තිලකරත්න ඩිල්ෂාන් පන්දු 108කදී නොදැවී ලකුණු 113ක් ලබා ගනිමින් බංග්ලාදේශයට එරෙහි එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට විශිෂ්ට ජයක් අත්කරදීමට මීට ටික වේලාවකට පෙර සමත් වුණේය.සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ ආරාධනයෙන් පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 8ක් දැවී ලකුණු 259ක් ලබා ගන්නා ලදී.
බංග්ලාදේශය වෙනුවෙන් ආරම්භක පිතිකරු තමීම් ඉක්බාල් ලකුණු 112ක් ලබාගත් අතර නසීර් හොසේන් නොදැවී ලකුණු 73ක් ලබා ගන්නා ලදී.පන්දු යැවීමේදී ඇන්ජලෝ මැතිව්ස් හා ලසිත් මාලිංග කඩුලු 2 බැගින් බිඳ හෙළුහ.කෙසේ වෙතත් ක්‍රීඩාංගණයේ ප්‍රධාන අලෝක කුළුණු 2කක විදුලිය බිඳ වැටීමක් හේතුවෙන් තරගය නියමිත වේලාවට ආරම්භ කිරීමට නොහැකි වූ අතර මේ නිසා පන්දුවාර 41කදී ශ්‍රී ලංකාව ලබාගත යුතු ඉලක්කය ලකුණු 238ක් විය.
එම අභියෝගයට සාර්ථක ආරම්භයක් ලබාදුන් තිලකරත්න ඩිල්ෂාන් හා කුසල් ජනිත් පෙරේරා පන්දුවාර 12.1කදී ලකුණු 106ක අගනා සබඳතාවක් පිහිටුවන ලදී.කුසල් ලකුණු 42ට දැවී ගියද කුමාර් සංගක්කාර හා එක්වුණු ඩිල්ෂාන් දෙවන කඩුල්ලට ලකුණු 98ක සබඳතාවක් පිහිටුවා පන්දුවාර 35.4ක් අවසානයේදී කඩුලු 2ක් දැවී ලකුණු 238ක් ලබා ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරාගෙන යෑමට සමත් විය.
එහිදී ඩිල්ෂාන් සිය 15 වැනි ශතකය ලබාගත් අතර බංග්ලාදේශයට එරෙහි දෙවන ශතකයද එය වන අතර සංගක්කාර ලකුණු 63ක් ගත් අතර එය ඔහුගේ 74 වැනි අර්ධ ශතකයයි.
දෙරට අතර තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ දෙවන තරගය ලබන 25 වැනිදා මෙම ක්‍රීඩාංගණයේදීම පැවැත්වීමට නියමිතය.තෙවන තරගය පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී ලබන 28 වැනිදා පැවැත්වෙනු ඇත.එම තරග 2ද දිවා රාත්‍රී තරග ලෙස පැවැත්වීමට නියමිතය.හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී මීට පෙර වැඩිම ලකුණු 211ක් හඹාගොස් ජයගෙන තිබුණේ ඔස්ට්‍රේලියානු කණ්ඩායමය.එහෙත් අද ශ්‍රී ලංකාව ලකුණු 238ක් හඹාගොස් එම වාර්තාව අභිබවා යාමට ද සමත් වුණේය.
ලකුණු පුවරුව