වසර 12 ක් ඇතුළත ස්ත්‍රී දූෂණ 98%කින් ළමා අපචාර 162%කින් නඟී

2000 වසරේ සිට 2012 වසර දක්වා වූ ‍ෙදාළොස් වසර තුළ ශ්‍රී ලංකාවේ ස්ත්‍රී දූෂණ 98%කින්ද, ළමා අපචාර 162%කින්ද, ඉහළ ගොස් තිබේ. මේ බැව් අනාවරණය කරන්නේ 'අයිතීන් උදෙසා කාන්තාවෝ' සංවිධානයයි.

ජාත්‍යන්තර කාන්තා දින 103 වැනි සැමරුම පිළිබඳ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගි වෙමින් 'අයිතීන් උදෙසා කාන්තාවෝ' සංවිධානයේ උප සභාපති සමන්මලී ගුණසිංහ මහත්මිය පැවැසුවේ ඇතැම් මැති - ඇමැති පුතුන් සහ රාත්‍රි සමාජශාලාවල දූ - කෙළියේ යෙදෙන ප්‍රාදේශීය සභා, පළාත් සභා මන්ත්‍රිවරුන් දැරියන් දූෂණය කරන පසුබිමක සිය අයිතීන් උදෙසා සටන් කිරීමට කාන්තාවන් ඒකරාශී විය යුතුව ඇති බවයි.ශිෂ්ටසම්පන්න සමාජයක්, ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ස්ථාපිත වෙනවා වෙනුවට කාන්තාවන්ට 'කෑල්ල - බඩුව - නොම්මරය' යනුවෙන් ආමන්ත්‍රණය කරන දූෂිත ආර්ථික වටපිටාවක් ශ්‍රී ලංකාව තුළ ගොඩනැඟී තිබෙන බව පැවැසූ සමන්මලී මහත්මිය මෙවර කාන්තා දිනයේ තම සංවිධානයේ තේමාව වන්නේ 'හිංසනය - පීඩනය - දූෂණය නවතමු' යන්න බවද කීවාය.

කාන්තාවන්ගේ මූලික අයිතීන් කඩවීම අද ශ්‍රී ලංකාව තුළ ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙන අතර දුප්පත්කම නිසාම ගරුත්වයෙන් තොර රැකියාවක් කිරීමට මෙන්ම බැළමෙහෙවරකම් සඳහා විදේශගත වීමටත් කාන්තාවට සිදුව ඇති බවද පැවැසූ සමන්මලී මහත්මිය අඩු වශයෙන් පොදු ස්ථානයක රැඳී සිටිය නොහැකි තරමට කාන්තාව පීඩාවට හා හිංසනයට ලක්වන බවද කීවාය.

Gossip Lanka Hot News Previous News Archive