Pages

මහරගම නාගරික මන්ත්‍රීගෙන් අවුරුදු 12 දැරියට අතවර

අතුරුගිරිය, වල්ගම ප්‍රදේශයේ නිවසකදී 12 හැවිරිදි දැරියකට ලිංගික අතවර කරන ලදැයි කියන සිද්ධියකට සම්බන්ධ මහරගම නගර සභාවේ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගැනීමට අතුරුගිරිය පොලිසිය පුළුල් පරීක්‍ෂණ අරඹා තිබේ.
අතවරයට ලක්‌ වූ බව කියන දැරිය මේ වන විට හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබයි. නාගරික මන්ත්‍රීවරයා ඇඹුල්දෙණියේ පදිංචි විවාහකයකු බවත්, ඔහු අතුරුගිරිය, වල්ගම පදිංචි වෙනත් කාන්තාවක සමඟ සම්බන්ධකමක්‌ පවත්වා ගෙන ගොස්‌ ඇති බවත් පොලිසියට හෙළි වී ඇත. එම කාන්තාවගේ සැමියා ඇය අතැර ගොස්‌ ඇති අතර මන්ත්‍රීවරයා නිතර එම නිවසට යන එන බව අසල්වැසියන් පොලිසියට ප්‍රකාශ කර ඇත.සිද්ධිය වී ඇති පසුගිය 25 වැනිදා නාගරික මන්ත්‍රීවරයා එම නිවසට ගොස්‌ ඇති අතර, එදින වර්ෂාවක්‌ ඇද වැටී තිබේ. එම අවස්‌ථාවේ දැරියගේ මව ඇය නිවසේ තබා අවශ්‍යතාවකට පිටතට ගොස්‌ ඇති අතර, එහිදී නාගරික මන්ත්‍රීවරයා දැරියට අතවර කර ඇතැයි පොලිසිය පවසයි.

මෙම සිද්ධියෙන් පසු නාගරික මන්ත්‍රීවරයා සැඟවී සිටින අතර ඔහු අත්අඩංගුවට ගැනීමට මිරිහාන මූලස්‌ථාන පොලිසියට දැනුම් දුන් බව අතුරුගිරිය පොලිසිය කියයි.

මේ පිළිබඳව නුගේගොඩ කොට්‌ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි මර්වින් වික්‍රමසිංහ මහතාගේ අධීක්‍ෂණය යටතේ අතුරුගිරිය පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක කපිල සේනානායක මහතාගේ උපදෙස්‌ මත ළමා හා කාන්තා කාර්යාංශයේ ස්‌ථානාධිපතිනි කාන්තා උප පොලිස්‌ පරීක්‍ෂිකා එම්. පී. කපුගොඩ මහත්මියගේ මෙහෙයවීමෙන් නිලධාරීහු කණ්‌ඩායමක්‌ වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.