Pages

ඊළාම් සිහිනය බොඳකරගත් පිරිස් මව්බිමෙන් පළි ගැනීමට උත්සහ කරනවා

ඊළම ලබා ගැනීමට නොහැකි වූ ඇතැම් පිරිස් ජාත්‍යන්තරයේ සිට කුමන්ත්‍රණය කරමින් මාතෘභූමියෙන් පළි ගැනිමට උත්සාහ දරණ බව ජනාධීපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.ජනාධිපතිතුමා පැවසූවේ, රජය විදේශ සබඳතා කළමනාකරණය නොකරන බවට ඇතැම් පාර්ශ්ව චෝදනා නගන බවය.එහෙත් එය සත්‍යයෙන් තොර බව ජනාධිපතිතුමා පෙන්වා දෙන්නේ ය.

ජනාධිපතිතුමා පැවසූවේ, ශ්‍රී ලංකාවට ජාත්‍යන්තරයෙන් බලපෑම් එල්ල වන්නේ රජයේ විදේශ සබඳතා කළමනාකරණය කිරිමේ ගැටලුවක් හේතුවෙන් නොවන බවය.එය ඩයස් පෝරාවේ අවශ්‍යතාව ජාත්‍යන්තරයේ ක්‍රියාත්මකවෙමින් පැවතීමක් බව ද ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ ය.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ විජයබාහු පාබල රෙජිමේන්තුවට ජනාධිපති වර්ණ සහ රෙජි‍මේන්තු වර්ණ ප්‍රදානය කිරිමේ උත්සවයකට අද පෙරවරුවේ සහභාගීවෙමිනි.උත්සවය කුරුණෑගල, බෝයගනේ විජයබාහු පාබල කඳවුරේදී පැවැත් විය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ජනාධිපතිතුමා පැවසුවේ මානුෂීය ගුණාංගවලින් පිරිපුන් ආරක්ෂක හමුදාව රටට සම්පතක් බවය.ඔවුන්ගේ ඉවසීමත්, මානව දයාවත්, විවිධ ජාතීන් එකට එක්ව ජීවත්වන ප්‍රදේශ ගොඩනැංවීම සඳහා යොදා ගන්නා බව ජනාධිපතිතුමා එහිදී පැවසී ය.
මෙම අවස්ථාවට ජ්‍යේෂ්ඨ අමාත්‍ය එස්.බී. නාවින්න, අමාත්‍යවරුන් වන ජයරත්න හේරත්, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ, යුද හමුදාපති ලුතිනන් ජනරාල් ජගත් ජයසූරිය යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.