අගවිනිසුරුවරයාගෙන් මන්ත්‍රී සුජීව සේනසිංහට උසාවියට අපහාස කිරීමේ චෝදනා

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග වෙමින් පවතින නඩුවකදී ගත් තීරණයකට විරෝධය පෑමක්‌ වශයෙන් සිය අසුන්වලින් නැඟිට උසාවියෙන් පිටව ගිය එම නඩුවේ නීතිඥවරුන් දෙදෙනකුට අගවිනිසුරු මොහාන් පීරිස්‌ මහතා ඊයේ තරයේ අවවාද කළේය.මේ දෙදෙනා නම් නිතිඥවරුන් වන කොළඹ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී (එජාප) සුජීව සේනසිංහ මහතා සහ පාර්මන් කාසිම් මහතාය.ඔවුන් දෙදෙනා එලෙස පිටව ගිය වහාම යළි උසාවිය ඇතුළට කැඳවූ අගවිනිසුරුවරයා ඔවුනට අසුන්වල වාඩිවෙන ලෙස නියෝග කළේය. 

"ඔබලා දෙදෙනා කළේ උසාවියට අපහාස කිරීමේ චෝදනාවකට දඬුවම් ලැබිය හැකි වරදක්‌" යෑයි අගවිනිසුරුවරයා එහිදී ඔවුනට පෙන්වා දුන්නේය.අනතුරුව නීතිඥ සේනසිංහ මහතා ඇමතූ අගවිනිසුරු වරයා, "මම නීති වෘත්තියට පිවිසිලා දැනට අවුරුදු 38 ක්‌ වෙනවා. ඒ වන විට ඔබ ඉපදිලා නැතිවත් ඇති. නීතිඥවරයෙකු මේ ආකාරයට හැසිරෙනවා කවදාවත් දැකල නැතැයි පැවැසීය. උසාවිය වෙළෙඳ පොළක්‌ වැනි තැනක්‌ නොවේ. ගෞරවනීය ස්‌ථානයක්‌. උසාවියේ ගෞරවය ආරක්‌ෂා වෙන පරිදි කවුරුත් හැසිරිය යුතුයි. මීට පසුව මෙවැනි වැරදි හැසිරීම් කරන්න එපා. එසේ කළොත් දැඩි දඬුවම් ලැබේවි යෑයි අගවිනිසුරුවරයා නීතිඥවරුන් දෙදෙනාටම කීය.

මේ දෙදෙනාම, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග වෙමින් පවතින නාගරික සංවර්ධන අධිකාරිය විසින් රජයට පවරාගත් කොළඹ කොම්පඤ්ඤවීදියේ අක්‌කර 7 ක පමණ ඉඩම් කොටසක පදිංචි පිරිසක්‌ විසින් එම පවරා ගැනීමට එරෙහිව පැවරූ නඩුවල පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු වෙති.

නාගරික සංවර්ධන අධිකාරිය භාර ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ මහතාද මේ නඩුවේ වගඋත්තරකරුවෙකි.

ඉඩම් රජයට පවරා ගැනීම නිසා නිවාස අහිමිවන අයට ගෙවන වන්දිය ලබා ගන්නවාද, නැත්නම් එම භූමියෙහි ඉදිකෙරෙන නිවාස සංකීර්ණයෙන් නිවසක්‌ ලැබෙන තෙක්‌ වෙනත් ස්‌ථානයක කුලියට පදිංචිවීම සඳහා මාසිකව මුදලක්‌ ලබා ගන්නවාද යන දෙකින් එකක්‌ තෝරාගන්නා ලෙස ඉකුත් දිනයේ නඩුව කැඳවූ අවස්‌ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දැනුම්දීමක්‌ කරන ලදී. තමන්ගේ කැමැත්ත වාචිකව හෝ ලිතව ඉදිරිපත් කළ හැකි බවත් ඔවුන්ට දැනුම් දෙනු ලැබිණි.ඊයේ නඩුව යළි කැඳවනු ලැබුවේ ඒ කළ සමීක්‍ෂණයේ ප්‍රතිඵල දැන ගැනීම සඳහාය.ඉඩම් කොටස්‌වල පදිංචිකරුවන්ගෙන් 317 ක්‌ කුලී මුදල් ලබාගැනීමටද 164 ක්‌ වන්දි ලබා ගැනීමටද කැමැත්ත ප්‍රකාශ කර ඇති බව නාගරික සංවර්ධන අධිකාරිය ඊයේ උසාවියට ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් කර තිබිණි.

රජයේ තක්‌සේරුව අනුව පර්චසයකට රුපියල් ලක්‍ෂ 45 බැගින් වන්දියක්‌ ගෙවීමට තීරණය කර ඇති නමුත් පදිංචිකරුවන් පර්චසයකට රුපියල් ලක්‍ෂ 80 බැගින් ඉල්ලා සිටින බවද නාගරික සංවර්ධන අධිකාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

එම ඉඩමේ ඉදිකෙරෙන නිවාස සංකීර්ණයෙන් නිවසක්‌ ලැබෙන තෙක්‌ කුලියට පදිංචිවීමට මාසයකට රුපියල් 10,000 ක්‌ ගෙවීමට නාගරික සංවර්ධන අධිකාරිය කැමැත්ත ප්‍රකාශ කර ඇති අතර ඒ සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර ඉක්‌මණින් ගිවිසුමක්‌ ඇතිකර ගන්නා ලෙසද අගවිනිසුරුවරයා දෙපාර්ශ්වයටම දැනුම් දුන්නේය.උසාවිය හමුවේ තිබූ ප්‍රශ්නයට විසඳුමක්‌ වශයෙන් ඇති කරගත් එකඟත්වය තීන්දු ප්‍රකාශයක්‌ හැටියට සටහන් කර ගත් අතර නීතිඥවරු දෙදෙනා උසාවියෙන් පිටව ගියේ ඒ අවස්‌ථාවේදීය.

අගවිනිසුරු මොහාන් පීරිස්‌, කේ. ශ්‍රී පවන් සහ ප්‍රියසාද් ඩෙප් යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ විභාගය පැවැත්විණි.වැඩිදුර විභාගය ලබන මස 4 වැනිදාට කල් තැබිණි.

Gossip Lanka Hot News Previous News Archive