පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා අධිකරණ වෛද්‍ය පරික්ෂණයක් සදහා යොමු කර මිළග නඩු දිනයේ අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් සඳුන් විතාන මහතා අද බන්ධනාගාර නිලධාරින්ට නියම කළේය.භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු හතරදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරිමේ සිද්ධියට අදාළ සැකකරුවන් අද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවේදී අදාළ තීරණය ගනු ලැබිණි.
එහිදී අගතියට පත් පාර්ශ්වයේ ඥාතීන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අජිත් පතිරණ මහතා මහේස්ත්‍රාත්වරයාගෙන් කළ ඉල්ලීමක් අනුව දුමින්ද සිල්වා මහතා මිලග නඩු දිනයේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කෙරුණා.අගතියට පත් පාර්ශ්වයේ නීතිඥවරයා අධිකරණය හමුවේ කියා සිටියේ දුමින්ද සිල්වා මන්ත්‍රිවරයා සිංගප්පුරුවේ සිට මෙරටට ගෙන ආ සැනින් ඔහු රෝහල්ගත කර ඇති බවය.
එය කළ යුතුව තිබුණේ අධිකරණ වෛද්‍ය පරීක්ෂණයකින් පසු අධිකරණයේ තීරණයක් අනුව බවත් එහෙත් එවැනි නීතිමය ක්‍රියාමාර්ගයක් පොලිසිය ගෙන නොමැති බව නීතිඥවරයා පෙන්වා දුන්නේය.
එහිදී දුමින්ද සිල්වා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා කරුණු දක්වමින් සිය සේවාදායකයා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට රෝහල වෙත ගිය ඔබතුමාට සිංගප්පූරුවේ මවුන්ට් එළිසබත් රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය කීත්ගේ මහතා හා විශේෂඥ ශල්‍ය වෛද්‍ය මහේෂි විඡේරත්න මහත්මිය නිකුත් කළ වෛද්‍ය වාර්තා ඉදිරිපත් කළ විටදී ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පැහැදිලි වන්නට ඇතැයි සිතන බවත් හිසට වැදුණු වෙඩි පහරවල් දෙකක් හේතුවෙන් බරපතළ තුවාල ලබා ශල්‍යකර්ම කීපයකට මුහුණදී තවදුරටත් ප්‍රතිකාර ගන්නා ඔහු ඒ සඳහා අවශ්‍ය පරිසරයක පසුවීම ඉතා වැදගත් බවත් පැවසුවේය.