එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගෙන එනු ලබන යෝජනාවට යුද අපරාධ වලට අමතරව වර්ග සංහාරක අපරාධ පිළිබඳ චෝදනා විභාග කිරීමද ඇතුලත් කිරීම සඳහා වන හඬට ඉන්දියාවේ ආණ්ඩු පක්ෂය තුලින්ම සහාය පළ වෙමින් පවතී.
ඉන්දීය සභාග රජයේ විශාලත්වයෙන් දෙවැනි තැන ගන්නා ද්‍රාවිඩ මුන්නේත්‍ර කලහම් (DMK) පක්ෂයේ නායක මුතුවේල් කරුණානිධි යෝජනාවට සංශෝධනයක් ගෙන එමින් ඉරිදා චෙන්නායි නුවරදී මාධ්‍ය වේදීන් හමුවේ අනතුරු අඟවා සිටියේ, ඉන්දීය රජය ඊට සහාය පළ නොකරන්නේ නම් තමන් සභාගයෙන් ඉවත් වන බව.
"ඊළාම් දෙමළ ජනතාවට එරෙහිව ශ්‍රී ලංකා යුද හමුදාව සහ බලධාරීන් විසින් වර්ග සංහාරක අපරාධ හා යුද අපරාධ සිදු කොට ඇතැයි යෝජනාවෙන් ප්‍රකාශයට පත් කළ යුතු," බව DMK නායකයා ප්‍රකාශ කළේය.
ඒ අනුව, ශ්‍රී ලංකාවේ යුද්ධයේදී සිදු කළ යුද අපරාධ, මානව වර්ගයාට එරෙහි අපරාධ, ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය උල්ලංඝනය කිරීම හා වර්ග සංහාරක අපරාධ සම්බන්ධ චෝදනා විභාග කිරීමට කාල රාමුවක් සහිත විශ්වසනීය, ස්වාධීන පරීක්ෂණ මණ්ඩලයක් පත් කළ යුතු බවට සංශෝධනයක් මානව හිමිකම් මණ්ඩල යෝජනාවට එක් කළ යුතු බවයි ඔහු කියා සිටියේ.
යුද අපරාධ සම්බන්ධයෙන් ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීම සඳහා වන ඉල්ලීමක් මානව හිමිකම් මණ්ඩලයට ගෙන එන යෝජනාවේ අඩංගු විය යුතු බව ඉන්දීය රජයේ බලවත් ජ්‍යෙෂ්ට අමාත්‍ය වරයකු සෙනසුරාදා ප්‍රකාශ කොට සිටියේය.
ඉන්දීය මුදල් අමාත්‍ය පලනිඅප්පන් චිදම්බරම් දකුණු ඉන්දියාවේ කාරෙයිකුඩි හිදී ප්‍රසිද්ධ රැළියක් අමතමින් කියා සිටියේ යුද අපරාධ චෝදනා අපක්ෂපාතී අයුරින් විභාග කිරීම සඳහා වන ඉල්ලීමක් අඩංගු යෝජනාවකට ඉන්දියාවේ සහාය පළ විය යුතු බව.එවැනි වගන්තියක් යෝජනාවේ අඩංගු වීම, සමස්ත තමිල්නාඩුවේ අපේක්ෂාව බව කී චිදම්බරම් අමාත්‍යවරයා ඉන්දියාව ඒ වෙනුවෙන් 'හඬ නැගිය යුතුයි, ඉන්දියාව ඊට සහාය දිය යුතුයි, ඒ වෙනුවෙන් ඡන්දය දිය යුතුයි,' යයි කියා සිටියේය.
මේ අතර ඉන්දීය විදේශ අමාත්‍යවරයා දිල්ලි නුවරදී ප්‍රකාශ කොට සිටියේ මානව හිමිකම් මණ්ඩලයේදී ශ්‍රී ලංකාව අරබයා ගෙන එනු ලබන යෝජනාව සම්බන්ධයෙන් ඡන්දය පාවිච්චි කරන ආකාරය පිළිබඳව රජයේ හවුල් කාර පක්ෂ සමග සාකච්ඡාවකින් අනතුරුව තීන්දුවක් ගන්නා බවයි.
මෙහිදී මුතුවේල් කරුණානිධි ගේ නායකත්වයෙන් යුතු ද්‍රාවිඩ මුන්නේත්‍ර කලහම් පක්ෂය දක්වන අදහස් විශේෂයෙන්ම සැලකිල්ලට ගනු ලබන බවයි සල්මාන් කුර්ෂිඩ් අමාත්‍යවරයා මාධ්‍යවේදීන් අමතා ප්‍රකාශ කළේ.
-බීබීසී සංදේශය-