Pages

ඉන්දියාවට කනේ පහර ගහන හැටි උදය ගම්මන්පිල කියයි

අතීතයේ සිට ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැතියේ දැඩි මිත්‍රත්වයක්. ඒත් පසුගියදා ඉන්දියාවේ දී ශ්‍රී ලාංකිකයන් බියවැද්දීම්, තන්ජුවූර්හි දී හා චෙන්නායි නුවර මධ්‍යම දුම්රිය ස්ථානයකදී ශ්‍රී ලාංකික බෞද්ධ භික්ෂුන් වහන්සේ දෙනමකට ප්‍රහාර එල්ල කිරීමත් සමඟ තමිල්නාඩු ප්‍රාන්තයේ සංචාරයට බාධා එල්ල විය. මේ හරහා ගොඩනැඟි අලුත්ම තත්ත්වය පිළිබඳ නීතිඥ උදය ගම්මන්පිල මහතා පුවත්පතකට අදහස් දක්වා තිබුනේ පහත පරිදිය.

තමිල්නාඩු ප්‍රාන්තයේ සිදුවන මේ කනගාටුදායක තත්ත්වයට ඉන්දීය මධ්‍යම රජය සෘජුව වගකිව යුතුයි. එයට හේතුව තමිල්නාඩු රජය පසුගිය කාලයේ ශ්‍රී ලංකා විරෝධි ව්‍යාපාරයක් දියත් කළා. තමිල්නාඩුවේ පුහුණු වෙමින් සිට ගුවන් හමුදා භටයන් එම පුහුණු කඳවුරෙන් ඉවත් කළා. ශ්‍රී ලංකා රගර් කණ්ඩායම් ක්‍රීඩා තරගයකදී ක්‍රීඩා කරන බව දැනගත් විට එය අවලංගු කර සංවිධායකයන්ට විරුද්ධව කටයුතු කළා. මෑතකදී තමිල්නාඩුවේ පැවැත්වීමට නියමිතව තිබු දකුණු ආසියානු ක්‍රීඩා තරගවල ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන බව දැනගත් විට එය නොපැවැත්විය යුතු යැයි කිව්වා.
මේ සිදුවීම් සියල්ල දෙස විදේශ ප්‍රතිපත්ති භාර ඉන්දීය මධ්‍යම ආණ්ඩුව අනුගමනය කළේ අඳගොලු බිහිරි ප්‍රතිපත්තියක්. එහි ප්‍රතිඵලයක් ලෙස තමිල්නාඩු ජනතාව තම නායකයන්ව අනුගමනය කරමින් ශ්‍රී ලංකා විරෝධීව කටයුතු කළා. එම නිසා තමිල්නාඩුවට ගිය දේශපාලනඥයන්ට, ව්‍යාපාරිකයන්ට ඔවුන් පහර දුන්නා. පසුව මෙය භික්ෂුන් හා සාමාන්‍ය ජනතාව දක්වා ව්‍යාප්ත වුණා. වසර 2 ක් පුරා අඛණ්ඩව පැවැති මේ තත්ත්වය වළක්වා ගන්නට ඉන්දීය මධ්‍යම රජය පියවරක් නොගත්තා.

අප මෙයට ප්‍රතිචාර දැක්විය යුත්තේ ඉතා ප්‍රවේසමෙන්. ඔවුන් උත්සාහ කරන්නේ ලංකාව තුළ තවත් කළු ජූලියක් නිර්මාණය කර එහි වාසිය දෙමළ බෙදුම්වාදීන්ට ලබා දීමයි. ශ්‍රී ලංකාව මීට ප්‍රතිචාර දැක්විය යුතුයි. එය කළ යුත්තේ ඉන්දියානු හෝ දෙමළ ජනතාව ඉලක්ක කර ගනිමින් ප්‍රචණ්ඩකාරීව නොවෙයි. කළ යුත්තේ රාජ්‍ය තාන්ත්‍රික කනේ පහර දෙකක් එල්ල කිරීමෙනුයි.

පළමු කනේ පහර වන්නේ ඉන්දියාවෙන් ලංකාවට යන සියලුම සංචාරක ගමන් නවතා දැමීමයි. ඉන්දියාවට වැඩි වශයෙන් සංචාරකයන් එන රට ලංකාව නිසා එය දැනෙන සුළු කනේ පහරක් වේවි.

දෙවැන්න ඉන්දීය භාණ්ඩ වර්ජනයකට රට පෙළ ගැස්සවීමයි. ලංකාවේ මෙන් හැට ගුණයක් විශාල ජනගහනයක් ඉන්දියාවේ සිටියත් ඉන්දියාව ලංකාවෙන් මිලදී ගන්නේ අපි ඔවුන්ගෙන් මිලදී ගන්නා ප්‍රමාණයෙන් සියයට 20 ක භාණ්ඩ ප්‍රමාණයක්. එම නිසා භාණ්ඩ වර්ජනයක අවසාන අවාසිය ලැබෙන්නේ ඉන්දියාවටය. එම නිසා අප පවසන්නේ රට තුළ කරන කලබලකාරි තත්ත්වය නවතා ඉන්දියාවේ හදවතට කනේ පහර දෙකක් එල්ල කිරීම පමණි.