රතු පැහැති බීට්‌රූට් අලයක් ඔබට ලැබුණොත් එහි උයා කන ආහාරයකට වඩා වෙනත් යමක් තිබිය හැකි යෑයි ඔබට නිකමටවත් හිතෙනවාද? පිළිකා සෛල විනාශ කිරීමටත් රුධිර පීඩනය පාලනය කිරීමටත් ඉවසීමේ හෙවත් දරාගැනීමේ ශක්‌තිය ඇති කර චිත්ත සන්තාපය තුරන් කිරීමටත් බීට්‌රූට්‌වලට හැකි බව ඔබ නිකමටවත් දැන සිටියද?
ඔස්‌ට්‍රේලියාවේ Baker Heart and Diabetes මධ්‍යස්‌ථානය පසුගියදා බීට්‌රූට් ගැන පර්යේෂණයක් කළා. ඉහතින් ලියෑවුණ කරුණු සියල්ල හෙළිදරව් වුණේ ඒ පර්යේෂණයේදී. බීට් යුෂ මිලිලීටර් 500 ක් පානය කර පැය හයකින් රුධිර පීඩනය ක්‍රමානුකූල ලෙස පහත වැටෙන අයුරු පර්යේෂකයන් අත්දුටුවා. මේ අනුව බීට් යුෂ වීදුරුවක් දිනපතා පානය කිරීමට අධික රුධිර පීඩනය ඇති කෙනකුට හැකි නම් ඔහුගේ හෝ ඇයගේ රෝග තත්ත්වය නැතිවී හෘදයාබාධය සහ නහර පුපුරා යාම් හටනොගන්නා බව පර්යේෂකයන් කියනවා.
බීට්‌වල ඇති නයිට්‍රේට් ප්‍රමාණය ඉතා ඉහළයි. සාමාන්‍යයෙන් බීට් කිලෝවක නයිට්‍රේට් වර්ග ග්‍රෑම් 500 ක් විතර තිබෙනවා. සෙසු එළවළු සහ පලතුරු වර්ගවල එයින් 20 න් එකක්‌වත් නයිට්‍රේට් නැහැ.
නයිට්‍රේට් වර්ග පිළිකා සෛල මර්දනයට යොදා ගත හැකි බව එක්‌දහස් නවසිය පණස් ගණන්වලදී යුරෝපයේ විද්‍යාඥයන් දැනගත්තා. එක්‌දහස් නවසිය හැට ගණන්වලදී ලෝක සෞඛ්‍ය සංවිධානය තිරිසන් සතුන්ට වැළඳෙන පිළිකා මර්දනය කිරීම සඳහා නයිට්‍රේට් යොදාගෙන පර්යේෂණ කර සාර්ථක ප්‍රතිඵල ලබා ගත්තා. ඒ පරීක්‍ෂණ අද දක්‌වාත් පැවැත්වෙනවා. ඔස්‌ට්‍රේලියානු පර්යේෂකයන් නයිට්‍රේට් මගින් අධික රුධිර පීඩනය අඩුවන බව සොයාගත්තේa මේ පර්යේෂණවල ප්‍රතිඵලයක් හැටියටයි.
වසර 2010 දී ලන්ඩනයේ Queen Marys විශ්වවිද්‍යාලයේදී බීට් යුෂ සම්බන්ධයෙන් පර්යේෂණයක් සිදු කෙරුණා. දිනකට බීට් යුෂ ලීටර් කාලක් පානය කරන අධික රුධිර පීඩන රෝගීන්ගේ පීඩන මට්‌ටම පැය 5 ක පමණ කාලයක් තුළ පහත බැස, ශරීරය ගැළපෙන මට්‌ටමට ස්‌ථාවර වන බව එහිදී හෙළි වුණා. බීට් යුෂ පානය කරන ප්‍රමාණය වැඩිවූ තරමට රුධිර පීඩනයත් පහළ වැටුණා. මෙහි තේරුම බීට් යුෂ ගැලුමක් පානය කළ විට රුධිර පීඩනය 0 ටම පහත වැටෙන බව නොවෙයි. එහෙම බීට් යුෂ බොන්නත් එපා. නයිට්‍රේට් මගින් රුධිර පීඩනය අඩු වීමේ තාක්‍ෂණය මෙසේයි මුඛයේ සහ බඩවැල්වල තිබෙන බැක්‌ටීරියා වර්ග නයිටි්‍රක් ඔක්‌සයිඩ් වායුව බවට පත් කරන්නට නයිට්‍රේට්‌වලට පුළුවන්. එවිට රුධිර නාලවල අසීරුතා ස්‌වභාවය නැතිවී ලිහිල් වී වඩාත් නිදහස් ලෙස ගමන් කිරීමේ අවකාශය රුධිරයට ලැබෙනවා.
එමතුද නොව ශරීරයේ ශක්‌තිය වර්ධනය කරන්නටත් නයිට්‍රේට්‌වලට හැකියි.
බීට් යුෂ ලීටර් භාගයක් පානය කර ව්‍යායාම කරන අයට අන් අය ව්‍යායාම කරන කාලය මෙන් වැඩිපුර 16% ක කාලයක් ව්‍යායාම කළ හැකි බව ලන්ඩනයේ Exter විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් වසර 2010 දී සොයා ගත්තා. නයිට්‍රේට් නොමැති පාන වර්ග ගෙන ව්‍යායාම කරන අයගේ මාංශපේශිවලට ඔක්‌සිජන් වැඩිපුර අවශ්‍යයි. එහෙත් බීට් යුෂවල ඇති විෂ නාෂක ද්‍රව්‍ය සමග එහි ඇති නයිට්‍රජන් එකතු වීම නිසා ඔක්‌සිජන්වල විශාල අවශ්‍යතාවක් මාංශපේෂීන් තුළ ඇති වන්නේ නැහැ. මේ රහස දැනට ප්‍රචාරය වී ඇති නිසා බ්‍රිතාන්‍යයේ මැරතන් ධාවකයන් සහ රග්බි ක්‍රීඩකයන් රැසක්‌ම සියලුම ශක්‌තිජනක පානයන්a පැත්තකට වීසි කර බීට් යුෂ පානය කිරීමට පුරුදු වී සිටිනවා. මේ අතර වසර 2011 දී උතුරු කැරොලිනාවේ Wake Forest විශ්වවිද්‍යාලය තුළ පර්යේෂණයකදී වැදගත් කාරණයක් හෙළි වුණා. ඒ චිත්ත වික්‌ෂෝපය හෙවත් දරාගැනීමට බැරි බව පහ කිරීමට බීට් යුෂවලට හැකි බවයි. එයට හේතුව බීට් යුෂ නිසා හටගන්නා නයිටි්‍රක් ඔක්‌සයිඩ් වායුව, මොළයේ රුධිර නාල වෙත කෙරෙන රුධිර සැපයුම ඉහළ නංවන බවයි. බීට් යුෂවල ෆෝලික් අම්ලය විශාල වශයෙන් තිබෙනවා. කෙනකුට දිනකට අවශ්‍ය ෆෝලික් අම්ල ප්‍රමාණයෙන් 75% ක්‌ම බීට් ග්‍රෑම් 200 කට අඩු ප්‍රමාණයක් අනුභව කිරීමෙන් ලබාගත හැකියි. දැන්ම දෛනික පදනමකින් බීට් අනුභව කරන්නට පටන් ගත්තොත් ඇල්සයිමර් රෝගය ඔබට කවදාවත් වැලඳෙන්නේ නැහැ.
බීට් අලය රත්පැහැ ගන්නේ එහි අඩංගු ඊeඒජ්හ්බසබ නමැති ද්‍රව්‍ය නිසයි. මෙය ඉතා ප්‍රබල විෂබීජ නාශකයක්. පිළිකා සෛල විනාශ කිරීමේ හැකියාව 'බෙටසයනින්වලට' තිබෙනවා. බීට්, පිළිකා මර්දනයක් වීමේ පසුබිම එයයි.
වසර 2011 දී ඇමරිකාවේ වොෂිංටනයේ පිහිටි හාවර්ඩ් විශ්වවිද්‍යාලය බීට්‌වල ඇති බෙටසයනින් යොදාගෙන පර්යේෂණයක් කළා. පුරස්‌ථි ග්‍රන්ථීන් සහ පියයුරුවලට වැලඳෙන පිළිකාවල සෛල වර්ධන වේගය 12.5 කින් මර්දනය කරන්නට බෙටසයනින්වලට හැකි බව මෙහිදී ඔප්පු වුණා.
ආහාර ජීර්ණ පද්ධතියෙහි අජීර්ණ තත්ත්වයන් දිගින් දිගටම පවත්නා රෝගීන්ට බීට් ඉතා සුදුසු බව සොයාගෙන තිබෙනවා. එහි ෆයිබර් හෙවත් කෙඳි බහුලයි. එසේම 100% ක් ප්‍රොටීන් එහි තිබෙනවා. කෙඳි බහුලතාව නිසා බඩවැල්වලට ක්‍රියාකාරීත්වය නිසි ලෙස පවත්වාගෙන යැමට බීට් උපකාරී වනවා. ආහාර දිරවීම සඳහා අවශ්‍ය ආමාශයීය ඕජස් (අම්ල) වෑස්‌සීම යථා තත්ත්වයට පත් කරන්නට බීට්‌වල තිබෙන Betacayanin නමැති ද්‍රව්‍යයට පුළුවන්. ආහාර ජීර්ණ ඕජස් වෑස්‌සීම අඩු වූ අවස්‌ථාවල ඒවා වෑස්‌සීම වැඩි කරන්නට වගේම එම ඕජස් වැඩිපුර වැස්‌සෙන විට පාලනය කරන්නටත් බිටේන්වලට පුළුවන්. අක්‌මාවේ හට ගන්නා විෂ සහිත තත්ත්වයන් නැති කිරීමට බිටේන් සමත්.
බීට් අල වැඩිපුර ආහාරයට ගත් විටත්, බීට් යුෂ පානය කළ විටත් මුත්‍රා රෝස පැහැයට හැරෙනවා. ඒ ගැන බිය විය යුතු නැති බවයි වෛද්‍යවරුන්ගේ මතය.
බීට් යනු දිගු ඉතිහාසයක් ඇති එළවළුවක්. මෙයට වසර 4000 කට පෙරත් ආහාරමය ශාඛයක් වශයෙන් බීට් වගා කෙරුණා. මුලින්ම මධ්‍යධරණී සාගරය අවට රටවල වගා කළ බීට් ක්‍රි. පූ. 8 වැනි ශත වර්ෂයේදී බැබිලෝනියාවට ගෙනෙනු ලැබුවා. ක්‍රි. ව. 850 දී චීනය ඇතුළු ඈත පෙරදිග රටවලට වාණිජ වගාවක් ලෙස බීට් පිවිසුණා. මුල් කාලයේදී බීට් ආහාරයට ගැනීමේදී ජනයා උනන්දු වුණේ එහි අලවලට වඩා කොළ අනුභව කිරීමටයි. එහෙත් ක්‍රි. ව. 900 වන විට නිවිති නමැති අලුත් එළවළුව හඳුනා ගැනීමත් සමගම මිනිසුන් බීට් කොළ නොව අල කන්නට පුරුදු වුණා.
ඉපැරැණි රෝම අධිරාජ්‍යය බීට් හඳුන්වා දුන්නේ සෞඛ්‍යමය එළවළුවක් ලෙස පමණක් නොව වාජීකරණයක් හැටියටයි. මල බද්ධයට එය ප්‍රතිකාරයක් බවත් ඔවුන් විශ්වාස කළා. බීට්‌වලින් සීනි උකහා ගත හැකි බව 19 වැනි සියවසේදී ජර්මන් ජාතිකයන් සොයා ගත්තා. ඝර්ම කලාපීය ශාකයක් වූ උක්‌ගස් ජර්මනිය වැනි ශීත රටවල නොවැඩුණු නිසා බීට්‌වලින් සීනි සෑදීමට හැකි වීම මහත් වාසියක් වුණා. බීට් ශාකය කොළයේ සිට මුල දක්‌වාම සම්පූර්ණයෙන්ම අනුභව කළ හැකියි. බීට් අප දකින්නේ දම් පාටින් පමණයි. එහෙත් කහ, සුදු, තැඹිළි වර්ණවලිනුත් සමන්විත බීට් තිබෙනවා.
(මූලාශ්‍රය - එක්‌සත් ජාතීන්ගේ සංවර්ධන ඒජන්සිය)
අනුර සොලමන්ස්