මෝල්ගසකින් ගසා මව මැරූ අමන පුතා සැඟවී සිටියදී අල්ලයි

ගම්මිරිස්ගස්වැව ප්‍රදේශයේ පදිංචිව සිටි අසූ හැවිරිදි වයෝවෘද්ධ මවක් මෝල්ගසකින් පහර දී මරා දැමූ බවට සැකපිට ඇගේ පුත්‍රයා අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය මඟින් 23 වැනිදා සවස අත්අඩංගුවට ගෙන ඇත.පහරදීමෙන් ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ 80 හැවිරිදි කුඩාකුඹුක්ගොල්ලෑව ගම්මිරිස්ගස්වැව අනුරාධපුර පදිංචි කපුවාගේ සිරියාවතී නමැත්තියයි. සිද්ධියට සැකපිට එම නිවෙසේම පදිංචිව සිටින 43 හැවිරිදි පුත්‍රයා අත්අඩංගුවට ගෙන ඇත.

මවත්, පුතාත් අතර 21 වැනිදා රාත්‍රියේ යම් ආරවුලක් ඇතිවී මෙම පහරදීම සිදුකර ඝාතනය සිදුකරන්නට ඇති බවට පොලිසිය සැක පහළ කරයි. අනුරාධපුර මූලස්ථාන පොලිසියට ලැබුණු හදිසි ඇමැතුමකට (119) අනුව අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් ගම්මිරිස්ගස්වැව ප්‍රදේශයට ගොස් නිවෙසේ කාමරයක මියගොස් සිටි කාන්තාවගේ සිරුර සොයාගෙන ඇත.මෝල්ගසින් පහරදීම නිසා කාන්තාවගේ හිසට බරපතළ හානි සිදුවී තිබූ බවත්, පහරදුන් මෝල්ගස නිවෙසේ බිත්තියක් මත හේත්තු කර තිබියදී සොයාගත් බවත් පොලිසිය පවසයි. පහරදුන් බව කියන සැකකාර පුද්ගලයාත්, මවත් වසර ගණනාවක් තිස්සේ මෙම නිවෙසේ ජීවත්ව ඇති අතර සැකකරු මානසික ආබාධයකින් පෙළීම නිසා රෝහල්ගතව ප්‍රතිකාර ලබාගත් අයකු බවද පොලිසිය අනාවරණය කරගෙන ඇත.

මව මරා දැමීමෙන් අනතුරුව සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් වෙල්යායක පැලක සැඟව සිටියදී පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු මවට මෝල්ගසින් පහරදී මරා දැමූ බවට පොලිසිය පාපෝච්චාරණය කර ඇත. අනුරාධපුර අතිරේක මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු චන්දිම එදිරිමාන්න මහතා සිද්ධිය වූ ස්ථානයට ගොස් මහෙස්ත්‍රාත් පරීක්‍ෂණය පැවැත්වූ අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ සිදුකර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයට නියෝග කළේය.
අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක තිස්ස විතානගේ මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පො.ප. එම්.එස්. කුමාරසිංහ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.
අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ සිදුකරයි.

Gossip Lanka Hot News Previous News Archive