ස්ත්‍රී දූෂණයක් කළ බවට අකුරැස්ස පොලිසියට අසත්‍ය පැමිණිල්ලක් කිරීම පිළිබඳ මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ කාන්තාවක් නඩුව ආරම්භ කළ අවස්ථාවේදී වරදකාරිය බවට පිළිගැනීම හේතුවෙන් මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු උදේශ් රණතුංග මහතා විසින් රුපියල් ලක්ෂයක ඇපයක් තබන ලෙසට නියෝග කෙරිණි.
තවද සැකකාරියගේ ඇඟිලි සලකුණු ද ලබා ගන්නා ලෙසට මහෙස්ත්‍රාත්වරයා විසින් අධිකරණ පොලිස් නිලධාරිවරයාට නියෝග කරන ලදී. මෙම සැකකාරිය අකුරැස්ස ප්‍රදේශයේ පදිංචිකාරියකි. මෙහිදී පොලිසිය අධිකරණයට පවසා සිටියේ 2013 මාර්තු 03 වැනි දින පැමිණිලිකාරිය පොලිසියට පැමිණ අසල්වැසි තරුණයකු බලහත්කාරයෙන් දූෂණය කළ බවට දන්වා සිටි බවය.ඒ අනුව පරීක්ෂණ පවත්වා අතවරයට ලක්වූ බව කියන කාන්තාව වෛද්‍යවරයකු වෙත යොමු කරන ලද බවත්, වෛද්‍යවරයා විසින් ස්ත්‍රී දූෂණයක් සිදු වී නොමැති බව දැනුම් දී ඇති බවත් මේ අනුව ඇයගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කිරීමේදී පාඩු කිරීමේ අදහසින් බොරු පැමිණිල්ලක් කළ බවට පිළිගත් බවටත් දන්වා සිටි බව පොලිසිය පෙන්වා දී ඇත.
නැවැත අප්‍රේල් 24 දිනට නඩුව කල් තබා ඇත. අකුරැස්ස පොලිසියේ කාන්තා උප පොලිස් පරීක්ෂක ලසන්ති, කාන්තා පොලිස් කොස්තාපල් (1808) වසන්තා යන නිලධාරීහු පැමිණිල්ල මෙහෙය වූහ.