තමිල්නාඩුවේ ශ්‍රී ලංකා විරෝධය ඉන්දියාවටම ප්‍රශ්නයක්

ශ්‍රී ලංකාවට විරෝධය පළ කරමින් තමිල්නාඩු ප්‍රාන්තයේ සිදුවන විවිධ ක්‍රියාකාරකම් හේතුවෙන් සිදුවන්නේ ඉන්දියාවේ සෙසු ප්‍රාන්ත ද බරපතළ අර්බුදකාරී තත්ත්වයක් ඇතිවීම බව ඉන්දීය ජනතා පක්ෂයේ නායක මහාචාර්ය සුබ්‍රමනියම් ස්වාමී මහතා අවධාරණය කරයි.

ශ්‍රී ලාංකිකයන් යනු උතුරු ඉන්දියාවේ බෙංගාල, බිහාර් සහ ඔරිස්සා ආදී ප්‍රාන්තයන්හි ඥාතීන් පිරිසක් බව පෙන්වාදෙන ඒ මහතා එවැනි තත්ත්වයක දී එම ජාතීන්ට එරෙහිව ක්‍රියාත්මක වීම කිසිසේත් ම සුදුසු නොවන බවද එම තත්ත්වය වහාම නිවැරැදි කර ගත යුතු බවට ඉන්දීය මධ්‍යම රජයෙන් ඉල්ලා සිටින බවද ඒ මහතා ප්‍රකාශ කරයි.මේ අතර තමිල්නාඩු දේශපාලනඥයන් සිදුකරන්නේ සමස්ත ඉන්දියාවටම මහා විනාශයක් බව පෙන්වාදෙන මහාචාර්ය සුබ්‍රමනියම් ස්වාමි මහතා තමිල්නාඩු ප්‍රාන්තයේ ක්‍රියාකලාපය ඉන්දියාවේ ව්‍යවස්ථාවට සම්පූර්ණයෙන්ම පටහැනි බවද එවැනි ක්‍රියාවන් නිවැරැදි කර ගැනීමට නොහැකි නම් තමිල්නාඩු ප්‍රාන්ත රජය විසුවන්නැයි ඉන්දීය අගමැති මන්මෝහන් සිං වෙත ප්‍රකාශ කරන බවද පවසා ඇත.
තම දේශපාලන අරමුණු ඉටුකර ගැනීම වෙනුවෙන් තමිල්නාඩු ප්‍රාන්තයේ ඇතැම් දේශපාලනඥයන් ශ්‍රී ලංකාවට එරෙහිව විවිධ ක්‍රියාමාර්ග සිදුකරන බවද ජාතික දේශපාලනය සහ විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමේ දී ප්‍රාදේශීය දේශපාලනඥයන් සඳහා ඉඩකඩ ලබා නොදිය යුතු බවද ඒ මහතා පෙන්වාදෙයි. මේ අතර ඒ මහතා සඳහන් කරන්නේ තමිල්නාඩුවේ ප්‍රචණ්ඩකාරී දේශපාලන පක්ෂ සඳහා ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්තිය තීරණය කිරීමට කිසිසේත්ම ඉඩ ලබා නොදෙන බවයි.

ඉන්දීය ජනතා පක්ෂයේ නායක ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි මහතා මේ බව සඳහන් කළේ ඉන්දියාවේ එන්.ඩී.ටී.වී නාලිකාව සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවක් සඳහා සහභාගි වෙමිනි.

එහි දී ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ ජාතිකයන් විවිධ ගැටලුවලට මුහුණ දෙන බව පවසමින් මාධ්‍යවේදියා නැඟූ පැනයකට පිළිතුරු දුන් මහාචාර්යවරයා සඳහන්කර ඇත්තේ ශ්‍රී ලංකාව යනු ඉන්දියාවේ සමීපතම අසල්වැසියා පමණක් නොව හොඳම මිත්‍ර රටක් බවත් සිංහල ජනතාව සහ ද්‍රවිඩ ජනතාව අතර ඥාති සබඳතා පවතින බවත්ය.

තම දේශපාලන අරමුණු ඉටුකර ගැනීම වෙනුවෙන් තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමැතිනී ජයලලිතා ජයරාම් සහ හිටපු මහ ඇමැති මුතුවෙල් කරුණානිධි විවිධ ක්‍රියාවන් සිදුකරන බවද එය ඛේදනීය තත්ත්වයක් බවද පෙන්වා දෙයි.

මෑත කාලයේ දී තමිල්නාඩු දේශපාලනඥයන්ගේ නිවට ක්‍රියාවන් ලෝකයටම පෙන්නුම් කරමින් ශ්‍රී ලංකාවට විවිධ තහංචි පැනවීමට ක්‍රියාකර තිබෙන අතර ශ්‍රී ලංකාව තව දුරටත් මිත්‍ර රටක් ලෙස නොසැළකීම, ආර්ථික සම්බාධක පැනවීම, ඉන්දීය ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් සහභාගිකර නොගැනීම, දෙරටේ ධීවර ගැටලුව සඳහා විරෝධය දැක්වීමක් ලෙස ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතා අත්හිටුවීම සහ ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජනතාව‍ වෙනුවෙන් ඊළමක් පිහිටුවීම වෙනුවෙන් ජනමත විචාරණයක් පැවැත්වීම ආදිය ඒ අතර වෙයි.

තමිල්නාඩුවේ කොටි හිතවාදී ක්‍රියාකාරකම් සඳහා ඉන්දීය ජනතා පක්ෂය ඇතුළුව තවත් දේශපාලන පක්ෂ රැසක් විරෝධය දක්වා තිබෙන බවද ඉන්දීය ජනතා පක්ෂයේ නායකයා සඳහන් කරයි.

දිනමිණ පුවත්පත ඇසුරිනි

Gossip Lanka Hot News Previous News Archive