නීතිය විහිළුවට ගත්තු පිස්සු කෙළින ඇමැති පුත්තු

නැගෙනහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පුත‍්‍රයා වන අසේල වෛද්‍යාලංකාරට සෞඛ්‍ය ඇමැති මෛත‍්‍රිපාල සිරිසේනගේ පුත‍්‍රයා වන දහම් සිරිසේන පහරදීම පසුගිය සතියේ රටේ කතාබහට ලක්වූ ප‍්‍රධාන සිදුවීමකි. එසේම උතුරු මැද ආයුර්වේද කොමසාරිස් චන්ද්‍ර කුමාර අල්විස්ට ඇසිඩ් ප‍්‍රහාරයක් එල්ල කිරීම හා නැගෙනහිර පළාත් සභා මන්ත‍්‍රී පි‍්‍රයන්ත පතිරණට නැගෙනහිර පළාත් සභාවේ සභාපතිනි ආරියවතී ගලප්පත්තිගේ පුත‍්‍රයා වන ඒ. එල්. සුසන්ත විසින් පහරදීම කතාබහට ලක්වූ තවත් සිදුවීම් දෙකකි. පහරදීම් දෙකකටම සම්බන්ධ වී ඇත්තේ ආණ්ඩුවේ ප‍්‍රබල දේශපාලනඥයන්ගේ පුත‍්‍රයන්ය.

දේශපාලනඥයන්ගේ පුත‍්‍රයන් රටේ නීතියත් සමග පිස්සු කෙළීම වර්තමානය වන විට සාමාන්‍යකරණය වී ඇත.
මර්වින් සිල්වාගේ පුත‍්‍රයා රටේ නීතිය සමග සෙල්ලම් කළ අවස්ථා ගණනාවකි. හමුදා මේජර්වරයෙකුට පහරදීමේදී නීතිය ක‍්‍රියාත්මක වූයේ රාජකාරිය කිරීමට ගිය මේජර්වරයාට එරෙහිවය. එසේම ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුතුන් තිදෙනා මහනුවරදී සහභාගී වූ රගර් තරගයකදී ප‍්‍රති පාර්ශ්වය ඔවුන්ට වඩා හොඳින් ක‍්‍රීඩා කිරීම හේතුවෙන් ඊට ප‍්‍රතිචාර දැක්වූයේ නුවර ක‍්‍රීඩකයන්ට පහරදීමෙනි. ක‍්‍රීඩකයන්ට හා නරඹන්නන්ට මෙම පහරදීම සිදු කළේ නාවුක හමුදා සෙබළුන් ලවාය. ඒ කිසිවකට නීතිය ක‍්‍රියාත්මක වූයේ නැත.

භාරත ලක්ෂ්මන් ඝාතනය සම්බන්ධයෙන් දුමින්ද සිල්වාට චෝදනා එල්ල වුවද ඒ සඳහා නීතිය ක‍්‍රියාත්මක නොවුණි. එසේම ඇතැම් ප‍්‍රාදේශීය සභාපතිවරු තමන්ට රිසිසේ ස්ත‍්‍රී දූෂණවල යෙදුනෝය. තවත් අය මිනී මැරුවෝය. එහෙත් ඔවුන්ට එරෙහිව පක්ෂය මගින් ගත් ක‍්‍රියාමාර්ගයක් නැත.

අද ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයාගේ පුත‍්‍රයා විසින්ම නීතියට සරදම් කර ඇත. විශේෂය වන්නේ ඒ අවස්ථාව වනවිට ඇමැතිවරයාද එම ස්්ථානයේ සිටීමය. මෙම පහරදීම සිදුකර ඇත්තේ ගැටුම ඇතිවූ ස්ථානය වන පාසිකුඩා පාලනය කරන නැගෙනහිර පළාත බාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පුත‍්‍රයාටය. ඔහු පළාතේ පොලිස් ප‍්‍රධානියාගේ පුත‍්‍රයා වුවද එහිදී ඔහුට සාධාරණයක් ඉටුවූයේ නැත. ඒ තුවාලකරු රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබද්දී සැකකරුවා අධිකරණයට ඉදිරිපත් නොකොට පොලිස් ඇප මත මුදාහැර ඇත. අලූතින් සම්මත කරගත් පැය 48 රැඳවුම් නීතිය ඇමැති පුතාට ක‍්‍රියාත්මක වී නැත.

පාසලේ තීන්ත ගෑමට පොල් හොරකම් කළ දැරියට එරෙහිව ක‍්‍රියාත්මකවූ නීතිය, දරුවන්ගේ බඩගින්න නිවීමට කොස් ගෙඩියක් සොරකම් කළ අයට ක‍්‍රියාත්මකවූ නීතිය මොවුන්ට එරෙහිව ක‍්‍රියාත්මක වූයේ නැත.

එසේම නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පුත‍්‍රයා වන අසේල වෛද්‍යාලංකාර පවසන අන්දමට මෙම ගැටුම හටගත්තේද ඇමැති පුත‍්‍රයාගේ පහත් ක‍්‍රියාවක් හේතුවෙනි. එනම් නාන ඇඳුමින් සිටි අසේල වෛද්‍යාලංකාරගේ බිරිඳගේ ඡායාරූප ගැනීමට එරෙහිවීම නිසාය. දහම් සිරිසේන අධිකරණයට ඉදිරිපත් නොකොට පොලිස් ඇප මත මුදාහැර ඇත. ජඩ දේශපාලනය හමුවේ පොලිසියට ඇත්තේ නැට්ට වැනීම පමණි. මොනරාගල සිදුවූ දේශපාලනඥයන්ගේ දූෂණ ක‍්‍රියාවලට විරුද්ධවීම නිසා නියෝජ්‍ය පොලිස්පති ලතිෆ්ව බදුල්ලට මාරු කෙරිණ. එසේම මෙම දේශපාලනඥයන්ගේ තක්කඩි කි‍්‍රයා හේතුවෙන් පසුගිය දින පීඩාවට පත්වූයේ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයාය. මේ ජඩ දේශපාලනඥයන්ගේ ක‍්‍රියා ඒ ආකාරයෙන්ම අනුමත නොකිරීම හේතුවෙන් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප‍්‍රිශාන්ත ජයකොඩිට දඬුවම් මාරුවක් ලැබිණි. එසේම වාර්තාවන අන්දමට ඔහුට විවිධාකාරයෙන් තර්ජන එල්ලවී ඇත. ඇතැම්විට පොලිස්පතිවරයා හෙට දිනයේදී මෙම දංගෙඩියට බිලිවෙනු ඇත. නාන ඇඳුමින් සිටින කාන්තාවන්ගේ ඡුායාරූප ගැනීම අශිෂ්ට ක‍්‍රියාවකි. පක්ෂ ලේකම්වරයෙකුගේ පුත‍්‍රයෙකු මේ ආකාරයෙන් හැසිරෙන විට එම පක්ෂ ලේකම්වරයා අයිති පක්ෂය විසින් පාලනය කරන රටක සදාචාරය ගැන අමුතුවෙන් කතාකිරීමට දෙයක් ඉතුරුවන්නේ නැත.

අවසාන විග‍්‍රහයට අනුව පක්ෂ ලේකම්වරයා වන මෛත‍්‍රිපාල සිරිසේන ඇමැතිවරයාටද ආරක්ෂාවක් නැත. මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු ප‍්‍රකාශ කළේ ඔහුට ජීවිත තර්ජන ඇති බවය. නම නොකීවද ඔහුට තර්ජන ඇත්තේ රාජපක්ෂ පවුලෙනි. ඊට හේතුව වී ඇත්තේ මීළඟ අගමැති වීමට මෛත‍්‍රිපාල සිරිසේන ඇමැතිවරයා බලාසිටින නිසාය. මෛත‍්‍රිපාල සිරිසේන ඇමැතිවරයාගේ පුතාගේ සිදුවීමේදී ආණ්ඩුවේ මෙන්ම රාජපක්ෂ පවුලට අයිති හා හිතවත් මාධ්‍ය මෛත‍්‍රිපාල සිරිසේන ඇමැතිවරයාට නිර්දය ලෙස පහර ගසන්නට විය. මර්වින්ගේ පුතා හමුදා මේජර්වරයාට පහරදුන් විට හෝ දුමින්ද සිල්වා භාරත ලක්ෂ්මන් මරා දැමුණු විට එවැනි විවේචන එල්ල වූයේ නැත. මෙහිදී මෛත‍්‍රීට එරෙහිව මාධ්‍ය මෙහෙයුම ක‍්‍රියාත්මක වූයේ බැසිල් රාජපක්ෂ ඇමැතිවරයාගේ මෙහෙයවීම මතය. ප‍්‍රගීත් එක්නැළිගොඩලා අතුරුදන්වන විට, ලසන්ත වික‍්‍රමතුංගලා මරා දමන විට, භාරත ලක්ෂ්මන්ලා මරා දමන විට, ශිරාණි බණ්ඩාරනායකලා එළවා දමන විට, මංජුල තිලකරත්නලාට පහර දෙන විට මෛත‍්‍රිපාලලා සිටියේ නිහඬ පිළිවෙතකය. මංගල සමරවීරලා, ශ‍්‍රීපතී සූරියආරච්චිලා, අනුර බණ්ඩාරනායකලා පක්ෂයෙන් එළවා දමන විටද චන්ද්‍රිකා කුමාරතුංගට කෙනෙහිලිකම් කරන විට මෛත‍්‍රිලා සිටියේ නිහඬ පිළිවෙතකය. අද ඒ අසිපත ඔහුගේ බෙල්ලට එල්ල වී ඇත. එය දෛවයේ සරදමකි. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් දරදිය ඇද්දවුන් පසෙක සිටියදී ජාතික සංවිධායක වී ඇත්තේ බැසිල්ය. අද මෛත‍්‍රීට වූ දේ හෙට බොහෝ දෙනෙකුට ඉදිරියේදී සිදුවීමට ඉඩ ඇත. එහෙත් ඔවුන්ද අද මෛත‍්‍රී මෙන් එසේම හුදකලා වීමට බොහෝ දුරට ඉඩ ඇත.

මෙහි සඳහන් අනෙක් පහරදීමද එම පක්ෂයේම තවත් වගකිව යුත්තෙකුගේ පුත‍්‍රයෙකු විසින් සිදුකරන ලද්දකි. මෙම පහරදීම සිදුකර ඇත්තේ නැගෙනහිර පළාත් සභාවේ සභාපතිනිය හා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ත‍්‍රිකුණාමලය ආසන සංවිධායක වන ආරියවතී ගලප්පත්තිගේ පුත‍්‍රයාය. මේ ප‍්‍රදේශයේ සිදුවන බොහෝ නීතිවිරෝධී ක‍්‍රියා සිදුවන්නේ ආරියවතී ගලප්පත්තිගේ ගෝලයන් අතිනි. දකුණට කුඩු බෙදන මංජුද ඇයගේ ප‍්‍රධානම ගෝලයෙකු ලෙස නම්දරා ඇත.

උතුරු මැද පළාත් ආයුර්වේද කොමසාරිස් උදයසිරි චන්ද්‍රකුමාර අල්විස්ට ඇසිඞ් ප‍්‍රහාරය එල්ල වීමද බරපතළ සිදුවීමකි. මොහුට මෙම ඇසිඩ් ප‍්‍රහාරය එල්ල වන්නේ ඔහු පාර්ලිමේන්තු උපදේශක කාරක සභාවට සහභාගී වී පැමිණි දිනයේදීය. ඇසිඞ් ප‍්‍රහාරය එල්ල වී සතියක් ඉක්මගොස් ඇතත් මේ වනවිටත් සිද්ධියට සම්බන්ධ වූවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය අසමත් වී ඇත. බරපතළ සැක මතුවෙමින් ඇත්තේ මේ පමාව තුළය. ඒ පසුගිය කාලය තුළ ආණ්ඩුවේ දේශපාලනඥයන් සම්බන්ධ වී සිදුකළ බොහෝ සිදුවීම්වලදී සැකකරුවන් අත්අඩංගුවට ගත්තේ නැත. ප‍්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන් කිරීම, ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය කිරීම, සිරසට මැර ප‍්‍රහාර එල්ල කිරීම, සියත රූපවාහිනී නාළිකාව ගිනි තැබීම, ඊ-නිවුස් කාර්යාලය ගිනි තැබීම, නීතිඥ වන්නිනායකට මැර තර්ජන කිරීම, අධිකරණ සේවා කොමිෂන් සභාවේ හිටපු ලේකම් මංජුල තිලකරත්නට පහරදීම, නීතිඥ සංගමයේ හිටපු සභාපති විජේදාස රාජපක්ෂගේ නිවසට වෙඩි තැබීම වැනි සිදුවීම් ඊට උදාහරණය. අද ශ‍්‍රී ලංකාවේ ඇත්තේ පිස්සු කෙළින දේශපාලනඥයන්ට වෙන්වුණු සමාජයකි. ශ‍්‍රී ලංකාවේ ඇති මත්පැන් නිෂ්පාදනාගාර බොහෝමයක් ඇත්තේ දේශපාලනඥයන් සතුවය. එසේම කැසිනෝ රේස් ඔට්ටු ආයතනවල හිමිකරුවන්ද දේශපාලනඥයන්ය. දිවයින පුරා හොරට මතපැන් විකුණන හොර බාර්, ගණිකා නිවාස බොහොමයක හිමිකරුවන් දේශපාලනඥයන් හෝ ඔවුන්ගේ ගෝලයන්ය. එසේම කුඩු ජාවාරම, කංසා ජාවාරම මේ රටේ සිදුකරන්නේද දේශපාලනඥයන් විසිනි. එසේම මිනීමැරම්, ස්ත‍්‍රීදූෂණ, හොරකම්, ළමා අපචාරවලටද වැඩිපුරම නම් සඳහන් වී ඇත්තේ මේ දේශපාලනඥයන්ගේය. මේ සියල්ල සිදුකරමින් මොවුන් කරන්නේ ජනතාවට බණ දේශනා කිරීමය. කනගාටුවට කරුණ වී ඇත්තේ රටතුළ මේ සියල්ල සිදුවෙමින් තිබියදී ජනතාව නිර්වින්දනය වූ හැඟීම් දැනීම් නැති අජීවී පිරිසක් සේ බලා සිටීමය.
උපුටාගැනීම
ලංකාදීප ඉරිදා සංග්‍රහය

Gossip Lanka Hot News Previous News Archive