දූෂණ හා අක්‍රමිකතා රැසක් ඔප්පු කළ හැකි ලියකියවිලි සිරකරු අතේ

කොළඹ, වැලිකඩ බන්ධනාගාරයේ ‘සිරකරු සමා’ අංශයේ සිදුවන දූෂණ හා අක්‍රමිකතා රැසක් ඔප්පු කළ හැකි ලියකියවිලි අඩංගු ලිපි ගොනුව බන්ධනාගාරයේ වහලය උඩට නැග උපවාසයක් ඇරඹූ මහේෂ් නැමැති සිරකරුවා අතට පත් වූයේ කෙසේ දැයි මේ වනවිට පරික්ෂණයක් ආරම්භ වී තිබේ. 
දීර්ඝ කාලීන සිර දඬුවම් ලබා වැලිකඩ සිර ගෙදරට ආ ‘ප්‍රභූ’ ගණයේ සිරකරුවන් සිර දඬුවම් කාලය අඩුකර ගෙන පිට වී ගොස් ඇත. වසර විසි පහක සිර දඬුවම් කාලය ‘සිරකරු සමා’ අංශයේ දී අවුරුදු පහක් දක්වා අඩුකර ඇතැයි වාර්තා වේ. සිර දඬුවම් අඩු වීමෙන් පසු එම සිරකරුවා නිදහස් වන්නේ වෙනත් බන්ධනාගාරයකින් ය. ඒ නිසා කාටවත් ඒ ගැන දැන ගන්නට ලැබෙන්නෙ නැත. මෙසේ සිර දඬුවම් අඩු කිරීම සඳහා වැලිකඩ බන්ධනාගාරයේ සමහර උසස් නිලධාරින් ගේ සහය ‘සිරකරු සමා’ අංශයේ ඇතැමුන්ට ලැබී ඇත.සිර දඬුවම් කාලය අඩු කරන්න විශාල මුදලක් අයකර තිබෙන බව වාර්ථා වේ.
එසේ අඩු කාලයෙන් නිදහස් වී ගිය සිරකරුවන්ගේ විස්තර, ඔවුන්ගේ සැබෑ දඬුවම් කාලය, දඬුවම් අඩු කිරීමෙන් පසු එම ලේඛනවලට අනුමැතිය දුන් නිලධාරින්ගේ තොරතුරු මහේෂ් නැමැති සිරකරුවා අත තිබූ ලිපි ගොනුවේ තිබෙන ලියකියවිලිවලට ඇතුළත් බව දැන ගන්නට තිබේ.
වහලය උඩ සිටි සිරකරුවන් දෙදෙනා පහළට ගැනීම සඳහා සාකච්ඡා කිරීමට ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ද අද (13) වැලිකඩ බන්ධනාගාරයට කැඳවා තිබිණ. එම සිරකරුවන් සමඟ කතා කළ හැකි වෙනත් ගොඩනැගිල්ලක මහලක් වෙත පවුල්වල සාමාජිකයන් ගෙන ගොස් සිරකරුවන් දෙදෙනා සමඟ සාකච්ඡා කිරීමෙන් ඉක්බිති සිරකරුවන් වහලයෙන් බැස ඇත. මහේෂ් නැමැති සිරකරුවා බන්ධනාගාර ඩිස්පැන්සරියට ගෙන ගොස් මූලික ප්‍රථමාධාර සහ ප්‍රතිකාර ලබා දීමෙන් ඉක්බිති ඔහු බන්ධනාගාර මූලස්ථානය වෙත රැගෙන ගිය බව ආරංචි මාර්ග කියයි. ඔහු රෝහල්ගත කිරීමක් තවම සිදුකර නැත. සිරකරුවා අත ඉහත සඳහන් ලිපිගොනුව තවමත් සුරැකිව තිබේ.

රන්මලී සෝමසිරි
Lakbima

Gossip Lanka Hot News Previous News Archive