කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ හිඟාකා කෝටිපතියෙකු වූ යාචකයා !

" හිඟා කන්න එන්නේ ඩොල්පින් වැන් එකේන් "
- සිඟමන් වලින් දෙමහල් නිවෙසක් , ත්‍රීවීලර් දෙකක් සහ  ඩොල්පින් වෑන් රථයක් -
ඉතා කාර්ය බහුල කොටුව දුම්රිය ස්ථානය සිකුරාදාට අතුරු සිදුරු නැතිව පිරී යන්නේ ගම්බිම් බලා පිටත්වයන මගීන්ගෙන්ය. ඒ සති අන්තය නිසාය. පසුගිය දෙසැම්බරයේ දහ හතර වැනි සිකුරාදා ද එවන් දිනයකි.

“ගාල්ල සහ මාතර බලා ධාවනය වන සාගරිකා සීඝ්‍රගාමී දුම්රිය පස්වැනි වේදිකාවට ළගාවීමට නියමිතය...” මුහුදුබඩ දුම්රිය මාර්ගයේ සියලුම දුම්රියන් පැමිණෙන්නේ පස්වැනි වේදිකාවටය. ශබ්ද විකාශන යන්ත්‍රයෙන් එසේ කියත්ම කවුරුත් උන්හිටි තැනින් නැගිටගත්හ. දුම්රිය පැමිණෙනතුරු බලා සිටින මගීන්ගේ දෙනෙත් ඇදී ගියේ දුම්රිය හමුදා ආරක්ෂක නිලධාරීන් පිරිසක් විසින් ඒ වනවිටත් දුම්රිය වේදිකාවේ මැදට වන්නට සිටි අසරණ යාචකයකු අත්අඩංගුවට ගැනීම වෙතය.

කොළඹ කොටුව දුම්රිය ස්ථානයට පැමිණෙන මගීන් කවුරුත් පාහේ මෙම යාචකයා හොඳින් හඳුනති. ඒ නිතර දෙවේලේම මොහු දුම්රිය වේදිකාවේ හිඟාකන නිසාවෙනි. බැලූ බැල්මට ඔහු බොහෝ අසරණ අයෙකි. ඔහු අංගවිකල බාවයකින් පෙළේ. දෑත කිසිසේත්ම වලංගු නැත. පාදය හරි හැටි බිම තබා ඇවිදිය නොහැකි ඔහු සිය ගමන් මල්ල රැගෙන යන්නේ මුඛයේ එල්ලාගෙනය. දෑස ද හරිහැටි නොපෙනේ. අංගවිකල බව නිසාම මුහුණ ද විරූපී වී ගොසිනි.

එහෙත්...ඔහුට සහජයෙන් ලැබී ඇති දක්ෂතා කිහිපයකි. කුඩා පැදුරක් බිමට එළා ගන්නා ඔහු සිය දෙපයේ ආධාරයෙන් එක් පාදයකින් තවත් පාදයකට නූල් පන්දුවක් ඔතයි. තවත් වරෙක ඉඳිකටුවට නූලක් දමයි. තවත් වරෙක ලයිටරයක් දල්වා කඩදාසි කොළයක් පුළුස්සා පෙන්වයි. තවත් වරෙක “නට්” එකක් යතුරක ආධාරයෙන් බුරුල්කොට නැවත තද කොට පෙන්වයි. ඔහු මේ සියලු දස්කම් පෙන්වන්නේ දෙපයේ ආධාරයෙනි. මගීන් මේ දෙස බලා සිටියේ පුදුමයෙනි. දෑත වලංගු නැති මොහු දකිනා සියලු දෙනාම පාහේ කිසි ලෝබකමක් නැතිවම මුදලින් ආධාර කරති. ඒ...මොහුගේ අසරණ බව නිසාමය. එක් තැනක රැඳී දස්කම් පානා ඔහු සියලුම භාණ්ඩ දෙපයේ වාරුවෙන් ගමන් මල්ලට දමාගෙන තවත් තැනකට ගොස් නැවත දස්කම් පෙන්වයි.

මෙසේ දස්කම් පාමින් සිඟමනේ යෙදුණු මොහු දුම්රිය ආරක්ෂක හමුදා නිලධාරින් විසින් අත්අඩංගුවට ගත්තේ මගීන්ගෙන් ලැබුණු කිසියම් තොරතුරක් අනුවය. දුම්රිය ආරක්ෂක හමුදා නිලධාරීන් ඔහුගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කළේ ඉන් පසුවය. “ඇත්ත කියනවා...තමුන් මේ බොරුවක් නේද කරන්නේ...?” ආරක්ෂක හමුදා නිලධාරීන් ඇසූ ප්‍රශ්නවලට මෙම යාචකයා පිළිතුරු දුන් ආකාරයට නිලධාහුද පුදුමයට පත්වූහ. ඔහු කෙරෙන් දිස්වූ අංගවිකල භාවය කෙමෙන් ඈත්ව ගියේය. පසුව ඔහු නිලධාරීන් හමුවේ මෙතෙක් කළ රඟපෑමේ සියලු තතු හෙළි කළේ මෙසේය.

“සර් මම නාරම්මල පැත්තේ...යි ගෙදරින් රස්සාවට යනවා වගේ හොඳට ඇඳගෙන කොළඹ එනවා. මම ගෙදරින් එන්නේ මගේම ඩොල්පින් වැන් එකේ ඩ්‍රයිවර් එක්ක. මඟට ඇවිත් වාහනය නවත්තලා මේ විදිහට හිඟන ඇඳුම් ඇඳ ගන්නවා. ඊට පස්සේ තමයි ස්ටේෂන් එකේ හිඟා කන්නේ...” ඔහු කියන කතාව ඇසූ නිලධාරීහු තව තවත් පුදුමයට පත්වූහ. සැබෑ සුළු අංගවිකල භාවයක් මොහු සතුව ඇතත් ඔහු මඟීන් ඉදිරියේ රඟදක්වන තරම් විශාල විකෘතිතාවයක් ඔහුට නැත. ව්‍යාජ අංගවිකල භාවයක් මවාගෙන මිනිසුන් ඉදිරියේ පෙනී සිටි මෙම පුද්ගලයා සැබැවින්ම වංචාකාරයෙකි. මෙළෙස දුම්රිය පදික වේදිකාවේ සිඟමන් යදිමින් එක්කාසු කරගත් මුදල්වලින් මේ වන විටත් දෙමහල් නිවෙසක් සහ ත්‍රීවීලර් දෙකක් මෙන්ම ඩොල්පින් වෑන් රථයක් ද මොහු සතුව තිබෙන බවත් දුම්රිය ආරක්ෂක නිලධාරීහු අනාවරණය කර ගත්හ. ත්‍රිවීල් දෙක කුලී පදනම මත සේවයේ යොදවා ඇති බවත් ඉන් දිනපතා මුදලක් ඔහුට ලැබෙන බවත් දැනගන්නට ඇත. මොහු සතුව අත්ට්‍රැක්ටරයක් ද තිබෙන බවට කරුණු හෙළිවී තිබුණත් ඒ පිළිබඳව නිලධාරීන් නිශ්චිතවම අනාවරණය කරගෙන නොමැත.

දුම්රිය වේදිකාවල හිඟාකෑමෙන් උදෑසන දහය පමණ වන විට රුපියල් හාරදහසක පමණ පොඩි සල්ලි ලැබෙන බව ඔහු කියයි. එම මුදල් කොටුවේම පිහිටි වෙළෙඳ සැලක් වෙත ගොස් මාරු කර මුදල් මෝට්ටු ලබා ගන්නා බවත් ඔහු පවසයි.

මෙළෙස දුම්රිය හා පදික වේකාවේ හිඟාකෑමෙන් ලක්ෂපතියන් වූ තවත් බොහෝ යාචකයින් සිටින බවද වාර්තා වේ. මොවුන් මඟීන්ට ගෙන එන්නේ කරදරයකි. මුදල් ඉල්ලා එය දෙන තුරුම මගින් අසලට වී නොයෙකුත් දේ කියමින් ඔවුන් අපහසුතාවයට පත් කරති. මෙලෙස හැසිරෙන යාචකයන් කොටුකර ගැනීමට දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා විසින් දුම්රිය ආරක්ෂක හමුදාවට උපදෙස් ලබා දීමත් සමඟ මෙලෙස වංචාකාර පුද්ගලයින් කොටු කරගැනීමේ මෙහෙයුම අරඹා තිබේ.

දුම්රිය ආරක්ෂක හමුදා නිලධාරීන්ගේ කාර්යභාරය දුම්රිය මඟීන් ආරක්ෂා කර ගැනීමයි. ඒ නිසාම පසුගිය දිනවල දී දුම්රිය ආරක්ෂක හමුදාව විසින් මෙවැනි වැටලීම් කිහිපයක් සිදුකොට තිබේ. එහිදී මෙම ව්‍යාජ යාචකයන් මෙන්ම අනවසර වෙළෙඳුන් ද අත්අඩංගුවට ගැනීමට හැකිව ඇත. දුම්රිය ආඥා පනතේ දොළොස් වැනි වගන්තියට අනුව මගීන්ට අවහිරයක් වන පරිදි වන සිඟමනේ යෙදෙන්නන් සහ අනවසර වෙළඳාම් කරන්නන් අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශයට බලය හිමිව තිබේ.

අනවසර වෙළඳාම් කිරීම නිසා දුරගමන් සේවා දුම්රියවල භෝජනාගාර හිමිකරුවන්ට බොහෝ පාඩු සිදුවන බවත් දුම්රියේ යන සිල්ලර වෙළෙඳුන් ආහාර නියම ප්‍රමිතියකින් තොරව වෙළඳාම් කරන බවත් දැන ගන්නට තිබේ. දුම්රියේ අනවසර වෙළෙන්දන්ගෙන් දුම්රිය මැදිරි තුළ ගැටකපන්නන්ට ද බෙහෙවින් උදව් උපකාර ලැබෙන බව ද ආරක්ෂක අංශ කියයි.

එම අරමුණු කිහිපය මුල්කොට ගෙන පසුගිය දින කිහිපය තුළ ක්‍රියාත්මක වූ මෙම මෙහෙයුම නිසා මිනිසුන් රවටා මුදල් ගැරූ ව්‍යාජ යාචකයන් කිහිප දෙනකු මෙන්ම නිසි ප්‍රමිතියෙන් තොරව ආහාර වෙළෙඳාමේ නිරත වූ අනවසර වෙළෙන්දන් කිහිප දෙනකුද අත්අඩංගුවට ගැනීමට හැකිව තිබේ.

දුම්රිය සාමාන්‍යාධිකාරී බී.ඒ.පී ආරියරත්න මහතාගේ උපදෙස් මත දුම්රිය ආරක්ෂක හමුදා අධිකාරී ජේ.එම්.ඒ.එස් ජයසේන සහ කොළඹ කොට්ඨාස බාර සහකාර ආරක්ෂක අධිකාරී අනුර ප්‍රේමරත්න සහ කොටුව දුම්රිය ස්ථානයේ කාර්යබාර නිලධාරී ඕ.කේ ලලිත් කුමාර සහ ඊ.එම්.යූ.ජේ ඒකනායක යන නිලධාරීහු විසින් මෙම වැටලීම සිදුකරනු ලබති.

උමේෂා සිරිවර්ධන

Gossip Lanka Hot News Previous News Archive