Pages

නාමල් රාජපක්ෂ ජනාධිපති වෙනකොට මම ප‍්‍රබල කැබිනට් ඇමතිවරයෙක්

‘ආණ්ඩුව නැති වුණහම මන්ත‍්‍රීවරු හුළං බැහැපු බැලූන් වගේ වෙනවා. ඒකට හොදම උදාහරණය තමයි වජිර අබේවර්ධන.එජාප ගාල්ල දිස්ත‍්‍රික් නායකයා. අද හොයාගන්නත් නෑ. ඕකම තමයි අපිටත් වෙන්නේ. ඒක නිසා අපි ආණ්ඩුව ශක්තිමත් කරන්න ඕනේ. ඒ සදහා තමයි රට නගන නිල් රැල්ල වැනි වැඩසටහන් ක‍්‍රියාත්මක කරන්නේ’ යැයි ගාල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි.

 ඒ මහතා මෙසේ ප‍්‍රකාශ කළේ හබරාදුව ආසනයේ ඉමදුව දීගොඩ කොට්ඨාශයේ නියෝජ්‍ය කතානායක චන්දිම වීර්ක්කොඩි මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ නව සාමාජිකයින් බදවා ගැනීමේ වැඩසටහනේදීය. තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය. ‘දැන් මත්තල ගුවන්තොටුපොළ විවෘත කරනවා. එජාපයට අනුව මේවා ඕනේ නෑ. එයාලට අනුව උපාධිධාරීන්ට රැකියා දෙන්න ඕන නෑ. සංවර්ධන කටයුතු ඕනේ නෑ. ඇමරිකාව හැමදේම ගෙනත් දෙනකන් ඇමරිකාවටම වැදගෙන හිටියාම ඇති.
ඉතින් අද එජාපය සිටිනවා ජිනීවා හරහා ඇමරිකාව අපේ ආණ්ඩුව පෙරළලා එයාලට ආණ්ඩුව දෙනකන්. එයාලට තව කාලයක් බලා ඉන්න වේවි. ඉතින් එයාලට එහෙමම ඉන්න කියලා අපේ ජනාධිපතිතුමා අපේ ගමන යනවා. තව වාර දෙකක්වත් අවම වශයෙන් මේ රටේ ජනාධිපති වන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා. ඒක වළක්වන්න කිසිම ජගතෙකුට බෑ. ඊට පස්සේ නාමල් රාජපක්ෂ. රාජපක්ෂ සමාගම ඉතාමත් හයිය රූක්ස ගහක් වගේ. ඒකේ තව බැසිල්, චමල්, නාමල්, ශෂින්ද්‍ර වගේ ලොකු මුක්කු තියනවා. හෙට අනිද්දා වෙන කොට හබරාදුව ආසනයට නියෝජ්‍ය කතානායකකම වෙනුවට ආසනයටත් කැබිනට් ඇමතිකමක් ලැබේයි. ඒක හබරාදුව ජනතාවට හයියක්. ඒ වගේම මහින්ද මහත්තයාගේ රජයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු වන මම නාමල් රාජපක්ෂ මහත්තයා ජනාධිපති වෙනකොට ප‍්‍රබල කැබිනට් ඇමතිවරයෙක්.’