ශ්රී ලාංකේය තරුණියන්ට සිංගප්පූරුවේ රෝහල්වල රැකියා ලබාදෙන බව පවසා ගණිකා වෘත්තියේ යෙදවීමේ ජාවාරමක් මෙහෙය වූ ප්රධාන සැකකරුවකු මාරවිල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන පොලිස් කාන්තා කාර්යාංශයේ පොලිසියට භාරදී තිබේ.
මේ අන්දමට රවටා සිංගප්පූරුවට ගෙන ගිය තරුණියක් දිනකට විදේශිකයන් 20 දෙනකුට පමණ හෝටල් කාමරයක රඳවාගෙන ගණිකා වෘත්තියේ යොදවා ඇති බව හෙළිවී ඇතැයි පොලිසිය කියයි. ශ්රී ලාංකේය තරුණියකගේ පහස ලබා ගැනීමට පැමිණ ඇති ඉන්දීය ජාතිකයකුට ඇය විසින් මුහුණ දී ඇති තත්ත්වය හෙළි කිරීමෙන් පසු ඔහුගේ ජංගම දුරකතනය ඇයට ලබාදී මෙරට සිටින සැමියාට ඇමතුමක් ලබාගෙන ඇත. එම දුරකතන ඇමතීමෙන් සියලු විස්තර සැමියාට පවසනු කාමරයට පිටතින් අසා සිටි ගණිකා ජාවාරම්කරුවන් ඇය සිටි කාමරයට ඇතුළු වී ඇයට තර්ජනය කරමින් පහරදී ඇති අතර එම අවස්ථාවද ජංගම දුරකතනයෙන් මෙරට සිටි සැමියාට හෙළිදරව් වී ඇත.
ඒ අනුව මේ තරුණියගෙන් රුපියල් ලක්ෂයක් ලබාගෙන සිංගප්පූරුවට යවනු ලැබූ මෙරට සිටින තැරැව්කාර කාන්තාව සොයා යන ඇගේ සැමියා මේ තත්ත්වය හෙළි කිරීමට පොලිසිය යන බව ඇයට පැවැසීමෙන් පසු ඇය මෙරටට එවා ඇත. සිංගප්පූරුවේ සිට ජාවාරම මෙහෙය වූ පුද්ගලයාගේ දුරකතන විස්තර අන්තර්ජාතික පොලිසියේ සහාය මත ලබාගැනීමට පොලිස් කාන්තා කාර්යාංශයට හැකිවී තිබේ.
සිංගප්පූරුවේ සිටින ජාවාරම්කරුවන් මේ තරුණියට මාසිකව ගෙවා ඇත්තේ රුපියල් විසිදහසක් පමණක් බවද හෙළිවී තිබේ. මේ ගණිකා ජාවාරමට සම්බන්ධ කාන්තාවන් දෙදෙනකු සහ තවත් පුද්ගලයකුද පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.