Pages

ඉන්දීය රජය, ජයලලිතාගේ ඉල්ලීම ඉවත දමයි

ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම් මෙනවිය විසින් ප‍්‍රාන්ත සභාව තුළ සම්මත කර ගත් යෝජනා, ඉන්දීය මධ්‍යම රජය ප‍්‍රතික්ෂේප කරන බව ඉන්දීය විදේශ අමාත්‍ය සල්මාන් කුර්ෂිඞ් මහතා අද (29) ප‍්‍රකාශ කළේය.

සී.එන්.එන්. අයි.බී.එන්. රූපවාහිනී නාලිකාව සමග කළ සම්මුඛ සාකච්ඡාවකදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා සඳහන් කළේ, ඉන්දියාවේ සියලු ප්‍රාන්ත ශ්‍රී ලංකාව කෙරෙහි එකම ස්ථාවරයක පසුවේ නම් ඒ පිළිබඳව අවධානය යොමු කළ හැකි බවය.එහෙත්, තමිල්නාඩුව වැනි එක් ප්‍රාන්ත සභාවක මතය පිළිබඳව අවධානය යොමු කළ හැකි වුව ද එම ප්‍රාන්තයේ සියලු මත පිළිගැනීමේ අවශ්‍යතාවක් ඉන්දීය රජයට නැතැයි ඔහු පැවසී ය.ඒ අනුව, ශ්‍රී ලංකාව මිත්‍ර රටක් නොවන බවට ඉන්දීය මධ්‍යම රජය කිසිදු ප්‍රකාශයක් නොකරන බවත්, ශ්‍රී ලංකාවට එරෙහිව ආර්ථික සම්බාධක පැනවීමට කිසිදු අවධානයක් යොමු නොකරන බවත් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේ ය.


කෙසේවුවද, තමිල්නාඩුවේ ශ‍්‍රී ලංකා විරෝධයට ඉන්දියාවේ තවත් ප‍්‍රාන්තයක් වන පුඩුචෙරිද එක්ව සිටියි. එම ප‍්‍රාන්ත සභාව අමතමින් ප‍්‍රධාන අමාත්‍ය එන්. රාගස්වාමි මහතා කියා සිටියේ, ශ‍්‍රී ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට ඉන්දියාව සහභාගී නොවිය යුතු බවයි.

ඒ බව දන්වමින් අග‍්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං මහතා වෙත ලිපියක්ද යවන බව ඔහු කියා සිටියේය. ඊට හේතුව ලෙස ඔහු ප‍්‍රකාශ කලේ ශ‍්‍රී ලංකාවේදී දෙමළ වැසියන්ට අසාධාරණයක් සිදුවන බවයි.

මේ අතර, මන්ත‍්‍රී ධුර 21ක් හිමි මුල්ලෙයාම් සින්ග් යාදේව්ගේ සමාජවාදී පක්ෂය, ඉන්දීය සභාග ආණ්ඩුවෙන් ඉවත් වන බව ප‍්‍රකාශ වීමත් සමග මන්මෝහන් සිං ආණ්ඩුවේ ස්ථාවරත්වය පිළිබද යළි ගැටළු මතුවී තිබේ.

එම්. කරුණානිධිගේ ඞී.එම්.කේ. පක්ෂයද ඉකුත්දා පාලක සභාගයෙන් ඉවත් විය. ඒ නිසා පාලක සභාගය බිදවැටීමේ අවදානමක් පවතින බව ඉන්දීය මාධ්‍ය පවසයි.

කෙසේවෙතත්, නිලකාලය අවසන්වන තෙක් පාලක සභාගය ආරක්ෂා වනු ඇතැයි අග‍්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සින්ග් මහතා විශ්වාසය පළකරයි.