මොරටුව විහාරාධිපති ඝාතනය - පහක් නිදහස්

මොරටුව, එගොඩඋයන සුනන්දෝපනන්ද විහාරාධිපති මැටිගහතැන්නේ විමලවංශ හිමි ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්‌ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරුවන් 10 දෙනාගෙන් 05 දෙනකු නිදහස්‌ කිරීමටත්, මොරටුව උප නගරාධිපතිවරයා ඇතුළු 05 දෙනකු 28 වැනිදා තෙක්‌ තවදුරටත් රක්‌ෂිත බන්ධනාගාරගත කිරීමටත්, මොරටුව අතිරේක මහෙස්‌ත්‍රාත් එම්. එම්. එම්. මිහාල් මහතා ඊයේ (14) නියෝග කළේය.

කොළඹ අපරාධ කොට්‌ඨාසය සැකකරුවන් පිළිබඳව සිදුකළ විමර්ශනවලදී නිදහස්‌ කළ සැකකරුවන් වන දිනේෂ් ලක්‌මාල් ප්‍රනාන්දු, චින්තක රුවන් සිල්වා, තිරුමාල් ඉලංකො, දොරේසාමි තේසවන් නිරංජන් කුමාර සහ නිශාන් කාවින්ද ප්‍රේමබන්දු යන අය, හිමි නම ඝාතනයට සෘජුව හෝ වක්‍රව සම්බන්ධ වී නොමැති බව විමර්ශනවලදී හෙළිවී ඇතැයි කොළඹ අපරාධ කොට්‌ඨාසයේ ප්‍රධාන පොලිස්‌ පරීක්‌ෂක නෙවිල් ද සිල්වා මහතා "බී" වාර්තාවක්‌ මගින් අධිකරණයට කරුණු දැක්‌වීය. එම කරුණු සැලකිල්ලට ගෙන ඔවුන් නඩුවෙන් නිදහස්‌ කිරීමට මහෙස්‌ත්‍රාත්වරයා පියවර ගත්තේය.
මෙසේ යළි රක්‌ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ උප නගරාධිපති සුජිත් පුෂ්පකුමාර, සෙල්ලප්පෙරුමගේ දනුක ෂෙරෝන් ප්‍රනාන්දු, සෙල්ලප්පෙරුමගේ සුදේශ් දනුෂ්ක ප්‍රනාන්දු, නිපුන සම්පත් ප්‍රනාන්දු සහ රමේෂ් දිල්රුක්‌ මෙන්ඩිස්‌ යන පස්‌දෙනායි.

නිදහස්‌ කළ සැකකරුවන් මොරටුව ප්‍රදේශයට පැමිණි ත්‍රිරෝද රථයද මුදාහරින ලෙස පොලිසිය කළ ඉල්ලීම සැලකිල්ලට ගත් මහෙස්‌ත්‍රාත්වරයා එම ත්‍රිරෝද රථය ලියාපදිංචි අයිතිකාරියට මුදාහැරීමට නියෝග කළේය.

මෙම නඩුව ලබන 28වනදා නැවත කැඳවනු ලැබේ.

Gossip Lanka Hot News Previous News Archive