චීන ගං දියේ දහස් ගණන් ඌරු මළකුණු

ෂැන්හයි පළාතේ හුවාන්පූ (Huangpu) ගංගාවේ පාවෙමින් තිබියදී සොයාගත් ඌරන්ගේ මළ සිරුරු සංඛ්‍යාව තවත් වැඩිවෙමින් පවතින බව චීනයෙන් වාර්තා වෙයි.ඌරු කුණප හයදහසක් පමණ ගංගාවේ පාවී යමින් තිබියදී මේ වනවිට සොයා ගෙන ඇත.ඌරන්ගේ මළසිරුරු ගංගාවේ මුලින්ම දකින්නට ලැබුනේ ඉකුත් සතියේදීයි.

ගඟ ඉස්මත්තේ වෙසෙන ගොවීන් විසින් මිය ගිය ඌරන් ගඟට දමන්නට ඇති බවත් වාර්තා මගින් ප්‍රකාශ වෙයි.ගඟ දිගේ බඩු ප්‍රවාහනයේ යෙදෙන තොටියකු වන ෂෙන් ගුවන්ගින් පවසන්නේ තත්වය ඉතා නරක බවයි.
"ගඟේ එහා මෙහා යාමේදී නම් මළකුණු වලින් නම් අපට ප්‍රශ්නයක් නැහැ. ඒත් ප්‍රශ්නේ පළාතම ගඳ ගහන එක'" යයි ද ෂෙන් ගුවන්ගින් වැඩිදුරටත් පවසයි.ඇතැම් ඌරන්ගේ සිරුරුවල රෝගී ලක්ෂණ දක්නට ලැබුනත් වසංගත තත්වයක් නැති බවයි චීන රාජ්‍ය රුපවාහිනිය ප්‍රකාශ කළේ.චීන නිලධාරීන් ප්‍රකාශ කරන පරිදි, හුවාන් පූ ගංගාව යාබද ශේජියන් ප්‍රාන්තයේ ගොවීන් විසින් ඌරන්ගේ මළ සිරුරු ගංගාවට දමන්නට ඇතැයි සැකයක් ද පවතී.
වයිරස් ආසාදනයක්
ගඟ ඉහත්තාවේ කිලෝ මීටර සියයකට පමණ එපිටින් පිහිටි ගොවිපොළවල විසි දහසක් තරම් ඌරන් සංඛ්‍යාවක් වයිරසයක් හේතුවෙන් මරුමුවට පත්වී ඇති බවටත් තොරතුරු ලැබෙමින් ඇත.

එම ඌරු මස් අලෙවිය වලක්වා ලීමට බලධාරීන් පියවර ගැනීම හේතුවෙන් ගොවිපල හිමියන් සිදුකර ඇත්තේ මළ කුණු ගඟට හෙළීමයි.දැනට සිදුකොට ඇති පරීක්ෂණ වලින් හෙළිවී ඇත්තේ "සර්කොවයිරස්" නම් වයිරසයකින් ඌරන් ආසාදිත වී ඇති බවකි.එය මිනිසුන්ට බෝ නොවන වසංගතයක් වන බවත් ප්‍රකාශ කොට ඇතත්, ඉදිමීගිය ඌරු කුණප ගඟින් ගොඩගන්නා රූපවාහිනී දර්ශන මහජනතාව තැති ගැන්වීමට හේතු වී ඇති අතර, පානීය ජලය අපත්‍ය වනු ඇතැයි අන්තර්ජාලයේ සැරිසරන්නන් බිය පළකොට ඇත.ඌරු මළකුණු ගංගාවේ පාව නොගියේ නම් මේ සිදුවීම කිසිසේත් කලඑලියට නොඑන බව ප්‍රදේශයේ මහජනයාගේ අදහසයි.

කානු වලින් සූරා ගත් තෙල්වර්ග ආහාර පිසීමට යොදා ගැනීම හා ළදරු කිරිපිටිවලට ප්ලාස්ටික් මුසුව තිබීම වැනි විවිධ අපවාද රැසකට පසුගිය කාලය තුළ මුහුණ දීමට චීනයට සිදු විය.








Thousands of Dead Pigs Found Floating in Shanghai River

Gossip Lanka Hot News Previous News Archive