බෝම්බ වපුරා තිබූ පොළව අද සශ්‍රීකයි - ජනපති කියයි

වසර 30ක් පුරා ත්‍රස්තවාදී පීඩනයට යට වී තිබු බෝම්බ වපුරා තිබූ උතුරු පළාත අද ස්වයංපෝෂිත තත්ත්වයට පත් වී ඇති බවත් උතුරේ මෙන් ම දකුණේ සහජීවනය නො ඉවසන විවිධ කල්ලි කණ්ඩායම් රට තුළ මෙන් ම ජාත්‍යන්තරයේත් අවුල් ඇති කිරීමට සැලසුම් කරන බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පෙන්වා දෙයි.
ජනාධිපතිතුමා මේ බව පෙන්වා දුන්නේ අරලියගහ මන්දිරයේ පැවති "රට නගන නිල් රැල්ල" ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බිම් මට්ටමේ නියෝජිතයින් බල ගැන්වීමේ වැඩමුළුව අමතමිනි. එම නිසා විවිධ බොරු ප්‍රචාරවලට නොරැවටී දිනාගත් සාමය ආරක්ෂා කර ගැනීම සෑම පුරවැසියෙකුගේ ම යුතුකම බව පෙන්වා දුන් ජනාධිපතිතුමා රටේ අනාගත පරපුර වෙනුවෙන් රට ගොඩනැගීම සඳහා සියලු දෙනාගේ කැපවීම තමා අපේක්ෂා කරන බවද පැවසීය. 
 ජාත්‍යන්තර බලපෑම් ත්‍රස්තවාදය අවසන් කිරීමට විවිධ බාධා එල්ල කළ ද තමා ඇතුළු රජය එම බාධවන් නොතකා අභියෝගවලට මුහුණ දී ජනතාව ආරක්ෂා කරන බවත් ජනතාවගේ සුබසිද්ධිය උදෙසා ඉදිරියට ද රට වෙනුවෙන් ඕනෑම කැප කිරීමක් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ රජය කැප වී කටයුතු කරන බවත් පැවසීය. දූෂිතයින්ට දඬුවම් දීමට රජය කිසිවිටෙකත් මැලි නොවන බවද පෙන්වා දුන් ජනාධිපතිතුමා ජනතා දේපල කිසිවිටෙකත් විකිණීමට ඉඩ නොතබා රට ඉදිරියට රැගෙන යාමට තම රජය කැපවී කටයුතු කරන බවද පෙන්වා දුන්නේය.
මෙම අවස්ථාවට ඒ.එච්.එම්. මුසම්මිල්, සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන, ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ, යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, ඛනිජ සම්පත් සංවර්ධන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත්, පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය සුමේදා ජී. ජයසේන මහත්ම මහත්මීන් ඇතුළුව නිර්මල කොතලාවල, ප්‍රියංකර ජයරත්න, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන යන අමාත්‍යවරුන් ද නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ. (Info dept)


Gossip Lanka Hot News Previous News Archive