Pages

සර් නව හැවිරිදි සිසුවාගෙ කන අතගාලා !

හපුතලේ ද්‍රවිඩ මධ්‍ය මහා විද්‍යාලයේ ගුරුවරයකු එම විදුහලේ හයවැනි ශේ්‍රණියේ ශිෂ්‍යයකුගේ කනට පහර දීම නිසා සිසුවාගේ කන තුවාල වී ඇත.මෙසේ තුවාල ලබා ඇත්තේ හයවැනි ශේ්‍රණියේ ඉගෙනුම ලබන අක්‌ෂේ කුමාර් නමැති නව හැවිරිදි සිසුවකුය.

පසුගිය සිකුරාදා (15 දා) පන්තියේ සිසුන් පිරිසක්‌ කඩදාසි කැබලි ගුලි කරමින් එකිනෙකාට විහිළුවට ගසාගෙන තිබේ. ඒ අවස්‌ථාවේදී මෙම සිසුන් එල්ල කරගත් කඩදාසි ගුලියක්‌ පන්තියට ඉගැන්වීමට පැමිණි ගුරුවරයකුගේ සිරුරේ වැදී ඇත. එහිදී කෝපයට පත් ගුරුවරයා තමන් ළඟට පැමිණ මෙසේ කඩදාසි ගුලියක්‌ ඔහුට ගැසුවේ ඇයි දැයි අසමින් බෙල්ලෙන් අල්ලා තම කනට පහරදුන් බව සිසුවා දෙමාපියන්ට පවසා ඇත.තමන් එවැනි වරදක්‌ නොකළ බවට ගුරුවරයාට පැවසුවද ඔහු එය ගණන් නොගෙන තමාට පහරදුන් බවද සිසුවා තම දෙමාපියන්ට කියා ඇත.

පසුව එම දෙමාපියෝ මේ ගැන හපුතලේ පොලිසියට පැමිණිලි කර තිබේ.මේ පහරදීම ගැන අප එම විදුහල්පති සරවනන් මහතාගෙන් විමසීමේදී කියා සිටියේ මෙම ගුරුවරයාට ටිකක්‌ කේන්ති යන බැවින් මෙම සිද්ධිය සිදුවී ඇති බවත් ඉදිරියේදී මෙම ගුරුවරයා පන්ති කාමරවල ඉගැන්වීමේ කටයුතු සඳහා නොයවා පාසලේ කාර්යාල කටයුතු සඳහා යොදවන බවත්ය.

මේ සම්බන්ධයෙන් පාසල් සංවර්ධන සමිතියේ ලේකම් හපුතලේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී සින්නරාසු මහතා කියා සිටියේ එම කතාව හිසේ අමාරුවට කොට්‌ට මාරු කිරීමක්‌ වැනි කතාවක්‌ බැවින් විදුහල්පතිවරයාගේ කතාව පිළිගත නොහැකි බවයි.