එක්සත් ජාතික පක්ෂයේ කඩාවැටීම නවතාලීමට නම් තරමක් දුරට හෝ පක්ෂ නායකත්වය මෙල්ල කර ගතයුතුව ඇතැයිද, එසේ නොකර මේ ආකාරයෙන් කටයුතු කළහොත් පක්ෂය තවදුරටත් පිරිහීමට ලක්වීම නතර කිරීමට බැරි යැයිද අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධ රක්ඛිත නාහිමියෝ පවසති.
රටේ ප්‍රථම දේශපාලන පක්ෂය වූ එක්සත් ජාතික පක්ෂය තවදුරටත් පවත්වාගෙන යෑමේ අවශ්‍යතාව අවධාරණය කළ අස්ගිරි මහා නාහිමියෝ විවිධ හේතූන් මත පක්ෂයේ සාමය සහ සහයෝගය ගිලිහී ගොස් ඇති බවත්, සියලු දෙනා තුළ එක මතයක් නොතිබීමෙන් පක්ෂයට ඉදිරියට යා නොහැකි බවත් කීහ.උන්වහන්සේ එසේ අනුශාසනා කෙළේ එ.ජා.ප. මහ ලේකම් තිස්ස අත්තනායක මහතා මහ නාහිමිපාණන් බැහැදුටු අවස්ථාවේදීය.
"එක්සත් ජාතික පක්ෂ නායකයා විටෙක සැර පරුෂවද විටෙක කුඩා දරුවකු මෙන්ද කටයුතු කරනවා.නායකත්වය යම් තරමකට හෝ මෙල්ල කර නොගතහොත් පක්ෂය තවදුරටත් කඩාවැටීම පමණයි සිදුවන්නේ. මේ ආකාරයෙන් කටයුතු කළහොත් පක්ෂය තවදුරටත් පිරිහීමට ලක් වෙන එක නවත්වන්න බැහැයි" නාහිමියෝ කීහ. අද පක්ෂයේ සාමය, සහයෝගය විවිධ හේතූන් මත ගිලිහිලා ගිහිල්ලා. සියලු දෙනා තුළ එක මතයක් නැහැ. එහෙම වුණොත් කිසිම පක්ෂයකට ඉදිරියට යන්න බැහැ.
සැමදෙනාගේම අදහස් සැලකිල්ලට ගෙන එක්ව තීරණ ගත යුතුයි. සුළු සුළු ගැටලු මත පක්ෂයේ සාමාජිකයන් ඉවත් කිරීමෙන් වන්නේ පක්ෂය තවදුරටත් පිරිහීම පමණයි. එක් අයකු ඉවත් කළහොත් ඒ අය සමඟ තව සිය ගණනක් පක්ෂයෙන් ඉවත් වන බව සිතිය යුතුයි. සියලු දෙනා සමඟ සහයෝගයෙන් කටයුතු නොකළහොත්
පක්ෂය තව තවත් පිරිහීමට ලක්වීම පමණයි සිදුවන්නේ. ගොඩ ඒමක් නැහැ. ඒ නිසා සහයෝගයෙන් කටයුතු කොට පක්ෂය ප්‍රතිසංවිධානය කළ යුතු බව නාහිමියෝ මහ ලේකම්වරයාට පැවැසූහ.
විපක්ෂ නායකවරයාගේ අදහස් ක්‍රියාත්මක කරන්න සියලු දෙනාගේ සහාය එකට ලැබෙන්නේ නැහැ. රජය හෝ ඕනෑම ආයතනයක් හෝ ඉදිරියට ගෙන යෑමට නම් සියලු දෙනාගේ සහයෝගය ලබාගත යුතුයි. නැතිනම් කිසි කෙනකුට ඉදිරියට යෑමක් නැහැ පැවැසූ උන්වහන්සේ මෙසේද කීහ.
"පක්ෂයේ ලේකම්වරයාට පක්ෂය ඉදිරියට ගෙන යෑමේ විශාල වගකීමක් තිබෙනවා. පක්ෂයේ සියලු දෙනාම එක මට්ටමකට ගැනීම කළ හැක්කේ ලේකම්වරයාටයි. පක්ෂ නායකයාට වඩා පක්ෂයේ අය එක් කිරීමේ වගකීම පවතින්නේ ලේකම්වරයාටයි. පක්ෂයේ පවතින වාද බේද අඩු කරගෙන ඉදිරියට යා යුතුයි. සමඟිය නොමැති තැන පැවැත්මක් නැහැ.
එදා මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහතා ආරම්භ කළ මේ මහා පක්ෂය නැවතත් පෙරට ගෙන යෑමට නම් සුළු සුළු වාද බේද ඉවතලා සැවොම එක්ව කටයුතු කළ යුතුයි. මහජනතාවගේ ඡන්දයෙන් ඉහළට ගිහිල්ලා ඒ ජනතාව අමතක කොට කටයුතු කිරීම අපට පිළිගන්න බැහැ. මුල අමතක කොට, මේ තත්ත්වය අපේ වාසනාවට ලැබුණු දෙයක්ය, අපේ බූදලයක්ය කියලා හිතුවොත් තමයි ජනතාවගේ අප්‍රසාදයට ලක්වෙන්නේ. මේක මහජන තනතුරක්. මහජනතාව එක්ක හිටියේ නැතිනම් බෝලයක් විසි කළා වාගේ විසි කරලා දාන එක වළක්වන්න බැහැ.
යම් යම් අයගේ අඩු පාඩු තිබුණාට ඒවා හදාගෙන එක්ව සාමයෙන්, සමඟියෙන් ඉදිරියට යා යුතුයි. රජයේද යම් යම් වැරැදි අඩු පාඩු තියෙනවා. නමුත් රජය මේ වන විට රට ඉදිරියට ගෙන යෑමේ ක්‍රියාවලිය ඉතා හොඳින් කරනවා. රජයේ හොඳ වැඩවලට සහයෝගය ලබාදිය යුතුයි.