රටේ ආර්ථික වර්ධනය හා උද්ධමනය ස්ථායී මට්ටමක පවත්වාගෙන යාමට මෙම ආණ්ඩුව සමත්ව ඇති බව පවසන මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයා ආර්ථික වර්ධන වේගය 8% සීමාවට හා උද්ධමනය තනි ඉලක්කමකට ගෙන ඒමට හැකිවීම නිසා 2016 වන විට මෙරට ඒකපුද්ගල ආදායම දෙගුණ කිරීමේ ආණ්ඩුවේ උත්සාහය සාර්ථක වන බව පවසයි.
මහින්ද චින්තනයෙන් බලාපොරොත්තු වන ආර්ථික සංවර්ධනය පවත්වාගෙන යාම සඳහා 8% ක අඛණ්ඩ ආර්ථික වර්ධනයක අවශ්‍යතාව දක්වා තිබෙනවා. මෙහිදී 8% ක අගය යෝජනා කර තිබෙන්නේ කවර නිර්ණායක මතද?
2016 වන විට රටේ ඒකපුද්ගල ආදායම අමෙරිකන් ඩොලර් 4,000 ක මට්ටමට ගෙන ඒම රජයේ අපේක්‍ෂාවයි. ඒ සඳහා ආර්ථික වර්ධනය 7% - 8% ක වර්ධනයක් පවත්වාගෙන යා යුතු බවට අප ගණන් බලා තිබෙනවා. ඒ සමඟම දිගු කාලීනව උද්ධමනයත් තනි අංකයකට සීමා කරන්න පුළුවන් නම් මේ ඉලක්කයට පහසුවෙන් ළඟාවිය හැකියි. සමස්ත ආර්ථික මූලෝපායන් සකස් කර තිබෙන්නේ එම අපේක්‍ෂාව ජය ගැනීම සඳහායි.
ජනාධිපතිතුමා අයවැය ඉදිරිපත් කිරීමේදී තුන් වසරක මැදි කාලීන ආර්ථික ප්‍රතිපත්තියක් ගැන සඳහන් කළේ මෙම ඉලක්ක කරා ළඟාවීමේ වැඩපිළිවෙළ අනුවයි. එයට අවශ්‍ය කරන ආකාරයට රජයේ මූල්‍ය අංශය, රජයේ වියදම් සහ ආදායම් තීරණය කරනවා. ඊට අමතරව මහ බැංකුවේ මූල්‍ය ප්‍රතිපත්තිය සහ රටේ විදේශීය අංශ යනාදී අංශ ඒකරාශී කොට ඉලක්ක සකස් කර තිබෙන්නේ 2016 දී අමෙරිකන් ඩොලර් 4000 ක ඒකපුද්ගල ආදායමක් සහතික කිරීම සඳහායි.
වසර කිහිපයක් 8% ක ආර්ථික වර්ධන වේගය පවත්වාගෙන යාමට හැකි වුවත් පසුගිය වසරේදී එය පහළ ගියා. මෙයින් අදහස් වන්නේ රජයේ අපේක්‍ෂාවට ළඟාවීම අපහසු බවද?
2010 සහ 2011 වසර දෙකේ ආර්ථික වර්ධනය 8% අගය ඉක්මවා ගියා. පසුගිය වසරේදී එය 6.5% දක්වා අඩුවූවා. අරමුණට ළඟාවෙන්න එක දිගට හැම අවුරුද්දකම 8% ක ආර්ථික වෘද්ධියක් පවත්වාගෙන යාම අවශ්‍ය නැහැ. ආර්ථිකයක් එහෙම වෙන්නෙත් නැහැ. පසුගිය කාලයේ අපේ ඉලක්කයට අවශ්‍ය ආකාරයට ආර්ථිකය ගමන් කර තිබෙනවා.
ඕනෑම වර්ධනය වන ආර්ථිකයක් සෑම වසරකම නියත අගයකින් වැඩි වෙන්නේ නැහැ. ඒක හරියට චක්‍රයක් වගේ. ගෝලීය ආර්ථිකය ගැන සඳහන් කළොත් කාලයක් ආර්ථිකය වර්ධනය වෙමින් පැවතුණා. දැන් පහළ බහිනවා. එය ඉදිරියේදී ඉහළ යා හැකියි. මේ විදිහට ගෝලීය ආර්ථික චක්‍රයේ ඉහළ හා පහළ යාම් සිදුවෙනවා.
පසුගිය වසරේ හා මේ වසරේ වුවමනාවෙන්ම ආර්ථික වර්ධනය අඩු කෙරෙන ප්‍රතිපත්තියකට ගමන් කළ බවට වාර්තා වෙනවා. එවැන්නක අවශ්‍යතාවයක් මතුවූයේ ඇයි?
ආර්ථිකය වර්ධනය වන විට ජනතාවගේ පරිභෝජන අවශ්‍යතා වෙනස් වෙනවා. එවිට මෝටර් රථ, විදුලි උපකරණ වැනි දේවල් වැඩිපුර රටට ආනයනය කිරීමට සිදුවෙනවා.
රටක ආනයන ඉල්ලුම වැඩිවෙන විට ඒ හා සමානව අපනයන වර්ධනය නොවුණොත් පරතරයක් ඇතිවෙනවා. 2010 හා 2011 වසරේ ආර්ථිකය විශාල වශයෙන් වර්ධනය වීමේ ප්‍රතිඵලයක් හැටියට ආනයන වියදම වැඩි වුණා. මෙයට අමතරව තෙල් මිල ඉහළ යාම නිසාත් ආනයන වියදම ඉහළ ගියා.
මේ තත්ත්වය දිගටම පැවතුණා නම් ශ්‍රී ලංකාවේ විදේශ සංචිත අඩුවීමෙන් ගෙවුම් තුලනය සම්බන්ධ ප්‍රශ්න ඇතිවිය හැකිව තිබුණා. මේ නිසා අපි ප්‍රතිපත්තියක් හැටියට මේ වසර වන විට ආර්ථික වර්ධනය අඩුවන ආකාරයට කටයුතු කළා. එවිට ඉදිරි වසර කිහිපයේදී නැවත වරක් කලින් තිබුණ ආර්ථික වර්ධනය ලබාගත හැකියි.
වක්‍ර ක්‍රම මඟින් ආනයන පාලනය කර ආර්ථික වර්ධනය සීමා කිරීම වෙනුවට, අපනයන වර්ධනය කොට ස්ථාවර අගයකින් ආර්ථික වර්ධනය වීමට ඉඩදිය නොහැක්කේ ඇයි?
අපනයන ආදායම ඉහළ නැංවීම නිෂ්පාදනය වැඩි කිරීමෙන් පමණක් කළ හැකි දෙයක් නෙවෙයි. විදේශ ඉල්ලුම අනුවයි අපනයන ආදායම තීරණය වන්නේ. ඒ නිසා ආනයන, අපනයන සමඟ සම්බන්ධ විය යුතුයි. අපනයන ආදායම් ශක්තිය අනුව ආනයන තීරණය වෙනවා.
ආර්ථික වර්ධන වේගය වුවමනාවට වැඩිය වැඩි වුවහොත් අපනයන ආදායමට වඩා වැඩි වේගයෙන් ආනයන සඳහා ජනතාවගෙන් ඉල්ලුමක් ඇතිවෙනවා. එය දිගටම පවත්වාගෙන යන්න බැහැ. ඒ නිසා වර්ධන වේගය ස්ථාවර මට්ටමකට පවත්වාගත යුතුයි. එවිට අපනයන ඉල්ලුමත් ඒ අනුව අඩු වෙනවා.
පසුගිය වසරේදී මහ බැංකුව රුපියල අවප්‍රමාණය කිරීමට කටයුතු කළේ මෙම අරමුණ මතද?
අනිවාර්යෙන්ම. නමුත් අපි කළේ රුපියල අවප්‍රමාණය කිරීමක් නෙවෙයි. වෙෙළඳෙපාළට ඉඩ ලබා දුන්නා රුපියලේ වටිනාකම තීරණය කරන්න. රුපියලේ වටිනාකම ස්ථාවර මට්ටමක පවත්වාගෙන ගියා නම් අපනයනකරුවන්ට නිෂ්පාදන වියදමේ වැඩිවීමට සාපේක්‍ෂව ආදායමේ ඉහළ යාමක් සිදුවන්නේ නැහැ. එවිට අපනයනකරුවන් අධෛර්ය වෙනවා. ඔවුන් දිරිමත් කිරීමට විනිමය අනුපාතයෙන් සාධාරණයක් ඉටුකළ යුතුයි.
අපනයන දිරිමත් කරන්නේ නැතිව ආර්ථිකයකට වර්ධනය වීම සීමා සහිතයි. ආර්ථිකය ස්ථාවරව එක දිගට ගමන් කරන්න නම් අපනයන වැඩිවිය යුතුයි. සංචාරක කර්මාන්තයෙන් අප උපයන මුදල වැඩිවිය යුතුයි. විදේශ ශ්‍රමිකයන්ගේ එවන මුදල් වැඩි කරගත යුතුයි. රටක දියුණුවට අවශ්‍ය දේවල් ආනයනය කළ හැකි වන්නේ එහෙම අපනයන ආදායම වැඩි වුණොත් පමණයි. විනිමය අනුපාතය නිදහසේ තීරණය වන්න ඉඩ දුන් විට අපට අවශ්‍ය දෙය සිදුවනවා. ස්ථාවරව තිබුණොත් ඒ දෙය සිදුවන්නේ නැහැ.
විනිමය අනුපාතය පාලනය කිරීමෙන් උද්ධමනය පාලනය කළ හැකිද?
උද්ධමනය ගණනය කරන්නේ පාරිභෝගික පැසකට අනුවයි. ඒ බඩු මල්ලේ තිබෙන දේවලින් ආනයනික භාණ්ඩ තිබෙන්නේ 20% ක් පමණයි. ඉතිරිවා දේශීය නිෂ්පාදන. විනිමය අනුපාතය ස්ථාවරව තබාගැනීමෙන් දේශීය නිෂ්පාදනයන්ගේ මිල ගණන් වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා ලොකු සහනයක් ලැබෙන්නේ නැහැ.
ආණ්ඩුවට මුදල් නැති නිසා රජය සතු විදේශ විනිමය සංචිත විකුණන බවට විපක්‍ෂය චෝදනා නඟනවා. මේ ගැන බලධාරියෙක් හැටියට ඔබට කියන්න තිබෙන්නේ කුමක්ද?
මේ කතා ආර්ථිකය ගැන දැනුමක් නොමැති උදවිය කියන කතා. සාමාන්‍යයෙන් රටකට මාස තුනක් සඳහා ආනයන මූල්‍යනය කිරීමට ප්‍රමාණවත් සංචිත තිබීම හොඳ තත්ත්වයක් විදිහට සලකනවා. අපිට මාස හතරකට සෑහෙන විදේශ විනිමය සංචිත තිබෙනවා. එය අමෙරිකානු ඩොලර් බිලියන 6.5 ක් පමණ වෙනවා.
විදේශ ණය හා පොලිය වසර තුන හතරකට සෑහෙන ප්‍රමාණයක් තිබෙනවා. ඒ වගේම තෙල් මිල ඉහළ යාමකට මුහුණ දීමට අවශ්‍ය සංචිත තිබෙනවා. මේ විදිහට අවශ්‍ය සංචිතයට අමතරව තිබෙන මුදල් ඕනෑම රටක් අලෙවි කරනවා. එය ආණ්ඩුව විසින් කරන දෙයක් නෙවෙයි.
කාලයක් තිස්සේ මෙරට ගෙවුම් ශේෂයේ පැවතියේ හිඟයක්. එහි වර්තමාන තත්ත්වය කෙසේද?
2011 වසරේ අපේ ගෙවුම් ශේෂයේ හිඟයක් තිබුණා. ඉන්පසු 2012 වසරේදී ධන අගයක් වාර්තා කළා. ගෙවුම් ශේෂයේ අතිරික්තයක් පැවතීමෙන් කියවෙන්නේ අපේ සංචිත ඉහළ ගිය බවයි. පසුගිය වසරේ ලැබුණු ඇමෙරිකන් ෙඩාලර් මිලියන 150 අතිරික්තය මේ වසරේදී ඩොලර් මිලියන 700 දක්වා වැඩි කරගත හැකි වෙතැයි අපි විශ්වාස කරනවා.
ආර්ථික වර්ධනය වගේම උද්ධමනය පාලනය කිරීමත් වැදගත් ආර්ථික දර්ශකයක්. එහි වගකීම පැවරී තිබෙන්නේත් මහ බැංකුවට නේද?
ශ්‍රී ලංකා ඉතිහාසයේ කිසිම කලෙක උද්ධමනය 10%ට අඩුවෙන් එක දිගට මාස 21 ක් පවත්වාගෙන ගිහින් නැහැ. එහෙත් මේ ආණ්ඩුව යටතේ 2009 සිට අවුරුදු හතරක් දැනට අඛණ්ඩව උද්ධමනය තනි ඉලක්කමකට පාලනය කර තිබෙනවා. උද්ධමනය තනි ඉලක්කමට ගෙන ඒම අපිට හීනයක් වෙලා තිබුණේ. 1977 සිට වසර තිහක කාලයක් බැලූ විට සාමාන්‍ය උද්ධමනය තිබුණේ් 12% යි. මේ ජයග්‍රහණය ලබාගත හැකි වූයේ ආර්ථිකය මනා ලෙස කළමනාකරණය කිරීම නිසයි.
සාකච්ඡා කළේ
චන්දන ජයවීර
ඡායාරූප නිශ්ශංක විජේරත්න
උපුටා ගැනීම-දිනමිණ