සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි කොළඹ දිස්ත්‍රික් පා.ම දුමින්ද සිල්වා මහතා අද (05) අළුයම දිවයිනට පැමිණ තිබේ.ඒ මහතා අළුයම 1.29 ට පමණ මෙසේ දිවයිනට පැමිණ ඇත්තේ එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඒ.කේ 349 ගුවන් යානයෙන් බවයි පැවසෙන්නේ.පසුගිය 2011 වසරේ ඔක්තෝබර් මස 8 වන දින අංගොඩ වල්පොල හන්දියේදී සිදුවූ වෙඩි හුවමාරුවකදී බරපතල තුවාල ලැබූ මන්ත්‍රීවරයා වසරකට වැඩි කාලයක් සිංගප්පූරුවේ මවුන්ට් එළිසෙබත් රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවිය.
අංගොඩදී සිදුවූ වෙඩි ප්‍රහාරයෙන් ජනාධිපති වෘත්තීය සමිති කටයුතු පිළිබඳ හිටපු අධ්යක්ෂ ජෙනරාල් භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතා මියගිය අතර ඒ සම්බන්ධ නඩු විභාගය පසුගියදා පැවැත්වුණු අවස්ථාවේදී දුමින්ද සිල්වා මහතාගේ පාර්ශවය වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා අධිකරණයට දැන්වූයේ මන්ත්‍රීවරයා ලබන 14 වනදා අධිකරණය හමුවට ඉදිරිපත් කරන බවයි.
දුමින්ද සිල්වා ඇතුළු සැකකරුවන් 13න් දෙනකුට එරෙහිව නඩු පවරණ ලෙස නීතිපති පසුගිය 19 වැනිදා රහස් පොලීසියට උපදෙස් දුන්නේය. මිනීමැරීම, කුමන්ත්‍රණය කිරීම, මිනීමැරීමට තැත් කිරීම හා නීති විරෝධී ජනරාශිය යන චෝදනා යටතේ රහස් පොලීසිය ඔවුනට එරෙහිව නඩු පැවරීය.