දැන් තමයි අපේ සටන පටන් ගන්නේ - Hirunika Premachandra elated

'දුමින්ද සිල්වා අවුරුදු 1 1/2 කට හරි පස්සේ ලංකාවට ආ එක හොඳයි. දැන් තමයි අපේ සටන පටන් ගන්නේ' හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටදී මාධ්‍යවේදීන් හමුවේ ඊයේ (5දා) ප්‍රකාශ කළාය. භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර නඩු විභාගය නිමවී අධිකරණයෙන් පිටවී යන අවස්ථාවේදී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය මාධ්‍යවේදීන් හමුවේ එසේ කීවාය.
විත්තිකාර දුමින්ද සිල්වා මහතා දීර්ඝ කාලයකට පසුව ලංකාවට පැමිණීම පිළිබඳ තමාගේ අදහස කුමක්දැයි  කළ විමසීමකට පිළිතුරු දෙමින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය මෙසේ ප්‍රකාශ කළාය. 'දුමින්ද සිල්වා ලංකාවට ආපු ගමන්ම, ඒ පිළිබඳ තොරතුරු මට ලැබුණා. කොහොම හරි දුමින්ද සිල්වා ලංකාවට ආපු එක හොඳයි (සිනහසෙමින්) දැන් තමයි අපේ සටන පටන් ගන්නේ. අපේ පාර්ශ්වය විතරයි හැමදාම නඩුවට ආවේ. දුමින්ද සිල්වා එනකම්, මෙච්චර කල් අපි හැමෝම බලාගෙන සිටියා. අද ඉඳලා තමයි නියම විදියට හරියට සටන ආරම්භ කරන්නේ.
දුමින්ද සිල්වා අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණ නියෝග නිකුත් කර මාස 15කට අධික කාලයක් ගතවීමෙන් අනතුරුව ඊයේ (05 දා) අලුයම ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු අත්අඩංගුවට ගැනීමට රහස් පොලිසියට හැකි විය.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා, වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් මෙසේ කීය.
"මෙම නඩුවේ 11 වැනි විත්තිකරු වන පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද සිල්වා මහතා ඊයේ (05 දා) අලුයම 1.00ට පමණ සිංගප්පූරුවේ සිට පැමිණි ඡ්.ම්. -349 දරන 'එමිරේට්ස්' ගුවන් යානයෙන් මෙරටට පැමිණ ඇති බවට තොරතුරු ලැබුණා. ඔහු රෝද පුටුවකින් පැමිණ ඇති බවත්, නවලෝක රෝහලට වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඇතුළු වී ඇති බවත් දැන ගන්නට ලැබුණා."

"ඒ අනුව රහස් පොලිසියේ විශේෂ නිලධාරීන් කණ්ඩායමක් විත්තිකරු නිරීක්ෂණය කර කටඋත්තරයක් ලබා ගැනීමට රෝහලට ගියා. විත්තිකරු නවලෝක රෝහලේ 07 වන මහලේ අංක 7727 දරන කාමරයේ සිටියා."

"ඔහු රෝහලේ ඇඳක් මත වැතිර සිටි අතර, ඔහුගේ ශරීරයට යම් දියරයක් එන්නත් මඟින් ලබා දෙමින් තිබුණා. ඔහුගේ දකුණු අතට හදිසියකදී එන්නත් ලබාදීම සඳහා තාවකාලිකව සවි කරනු ලබන කැනියුලාවක්ද සවිකොට තිබුණා."

විත්තිකරු; ඔහුගේ පියා වන අරුමාදුර වින්සන් ප්‍රේමලාල් සිල්වා සමඟ සිටි අතර, විත්තිකරු විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න මහත්මියගේ අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටියා.

විත්තිකරුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වෛද්‍යවරුන් ලබාදුන් උපදෙස් මත සහ බැලූ බැල්මට පෙනෙන, තත්ත්වය මත, විත්තිකරුගෙන් කටඋත්තරයක් ගැනීමට නොහැකි බව නිගමනය වුණා.

"විත්තිකරුගේ හිසට බරපතළ සැත්කමක් කර ඇති හෙයින්, රෝහලෙන් පිටව ගියහොත් විෂබීජ ඇතුළු වී ඔහුගේ ජීවිතයට තර්ජනයක් ඇති විය හැකි බව වෛද්‍යවරුන් පවසා සිටියා."

විත්තිකාර දුමින්ද සිල්වා මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා කරුණු ඉදිරිපත් කරමින් මෙසේ කීය.
"විත්තිකරුගේ හිසට බරපතළ සැත්කමක් කර තිබෙනවා. ඔහුගේ හිස් කැබැල්ලේ 30%ක කොටසක් ඉවත් කර තිබෙනවා. ඔහු රෝහලෙන් පිටත්ව ගියහොත් තුවාලවලට විෂබීජ ඇතුළු වී ඔහුගේ මරණය පවා සිදුවීමට ඉඩ තිබෙනවා."

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අජිත් පතිරණ මහතා කරුණු ඉදිරිපත් කරමින් මෙසේ කීය.
"විත්තිකරු දීර්ඝ කාලයක් ගත වී හෝ අත්අඩංගුවට ගැනීම පිළිබඳව අප සතුටු වෙනවා. දැන්වත් දුමින්ද සිල්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙසට ඉල්ලා සිටිනවා. විත්තිකරුට උසාවියට පැමිණීමට නොහැකි නම්, ඔහු සිටින තැනට ගොස් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටිනවා."

එම ඉල්ලීම සලකා බැලූ අතිරේක මහෙස්ත්‍රාත් සඳුන් විතාන මහතා විත්තිකරු ප්‍රතිකාර ලබන නවලෝක රෝහලට ඊයේ (05 දා) දහවල් ගොස් ඔහුව නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ලබන 14 වැනි දින තෙක් රිමාන්ඩ් භාරයට පත් කරනු ලැබීය.

Gossip Lanka Hot News Previous News Archive