ඔව්.
දැන් ඉතිං ....
සටන පටන්ගන්නෙ කවදද කියලද අහන්න හදන්නේ.
නැහැ.
එහෙනම්.
කොහොමද සටන කෙරෙන්නේ?
මෙහෙමයි. ඒක අවි ආයුධවලින් කරන සටනක් නෙවෙයි. එහෙම සටන් දුමින්ද සිල්වලාට පුරුදු වුණාට අපිට පුරුදු නැහැ. හැබැයි මගේ තාත්තගේ ඝාතනයට සාධාරණයක් ඉටුකර ගැනීමේ සටන මං ඔහුට එරෙහිව කරනවා.
දැන් ඒක පටන් අරගෙනද?
අනිවාර්යයෙන්ම. මං මීට කලිනුත් ඔබට කියලා තියෙනවා සැබෑ සටන පටන් ගන්නේ දුමින්ද ලංකාවට ගොඩබැහැපු මොහොතේ පටන් කියලා. දුමින්ද ලංකාවට ආපු පහුගිය අඟහරුවාදා අලුයම ඒ සටන පටන් ගත්තා. මගේ තාත්තගෙ ඝාතනයේ ප්‍රධානම සැකකාරයා දුමින්ද සිල්වා. මම හැමදාම බලාහිටිය අවස්ථාව උදාවුණා. ඒ දුමින්ද ලංකාවට එන එක.
ඔබේ අවස්ථාව දැන් උදාවෙලානේ?
ඔව්. මෙච්චර කාලයක් අපේ පාර්ශ්වයෙන් විතරයි හරියට නඩුවට ඉදිරිපත් වුණේ. දැන් අනෙක් පාර්ශ්වයේ ප්‍රධාන සැකකාරයත් ඇවිත් ඉන්නවා. ජනතාවට සත්‍ය දැනගන්න පුළුවන් විදියට විනිවිදභාවයෙන් දැන් මේ නඩුව පවත්වාගෙන යන්න පුළුවන්.
ඇයි මෙච්චර දවසක් විනිවිදභාවය තිබුණේ නැද්ද?
මම එහෙම කියන්නෙ නැහැ. මං ඒකෙන් අදහස් කළේ මේකයි. මෙච්චර දවසක් අපි අපේ පාර්ශ්වයෙන් හැම නඩු දිනයකම නඩු වාරයකටම අපේ කරුණු ඉතාම නිවැරැදිව ඉදිරිපත් කළා. ඒක අධිකරණයේදී විතරක් නෙවෙයි මාධ්‍ය මඟිනුත් මං රටට කිව්වා.
ඒත් දුමින්ද සිල්වාගේ පාර්ශ්වයෙන් මේ සිදුවීම වුණු දවසේ ඉඳලා අද වෙනකම් දුමින්ද සිල්වා ඉන්න මානසික තත්ත්වය හරි ශාරීරික තත්ත්වය හරියටම මොකක්ද කියලා හෙළිකරලා නැහැ. ඔහු ඉන්න ඇත්ත තත්ත්වය මොකක්ද කියලා කවුරුත් දන්නෙ නැහැ. ඔහු මේ වෙනකම් හැංගිලා හිටියේ. ලංකාවට ආවට පස්සෙත් දැන් ඔහු පෞද්ගලික රෝහලක ඉන්න බව කිව්වාට කවුරුවත් දන්නේ නැහැ ඔහු ඉන්න සැබෑ තත්ත්වය මොකක්ද කියලා.
ඒත් දුමින්දගේ පාර්ශ්වයෙනුත් යම් යම් ඉදිරිපත් කිරීම් කළානේ?
කාටද පුළුවන් සහතික කරලා කියන්න ඒවා ඇත්තම කියලා. අනික මේක දැන් මහජනතාව බලාගෙන ඉන්න පබ්ලික් නඩුවක් බවට පත්වෙලා. ඒ විතරක් නෙවෙයි මේක දේශපාලන මිනීමැරුමක්. එහෙම තියෙද්දි අපි ජනතාවත් එක්ක ජනතාවට සමීපව අපිට වෙලා තියෙන දේ විවෘතව ඔවුන්ට කියනවා. ඒත් දුමින්ද සිල්වාගේ පාර්ශ්වයෙන් ඒක සිද්ධ වුණේ නැහැ. ඔවුන් හැම වෙලාවකම වගේ උත්සාහ කළේ හැංගෙන්න. ඒත් ඔහු දැන් ඇවිත් ඉන්නවා.
දැන් මොකද වෙන්නෙ?
නීතිපතිතුමා දුමින්දට එරෙහිව චෝදනා පත්‍ර ගොනු කළා. ඒක අපි ලබපු එක ජයග්‍රහණයක්. මොකද මගේ තාත්තා ඝාතනය කරපු දවසේ ඉඳන් අපි ඉල්ලපු දෙයක් තමයි මෙච්චර කාලයක් ගෙවිලා හරි ඉටු වුණේ. කවුරු කොච්චර කොයි විදියට හංගන්න හැදුවත් මුළු රටම දන්නවා දුමින්ද සිල්වා කරපු වැරැද්ද මොකක්ද කියලා. මේ නඩුවට අදාළ සාක්ෂිකරුවන් ඒ ගැන සාක්ෂි දීලා තියෙනවා. ඒ නිසා මං විශ්වාස කරනවා දුමින්දට ගැලවී යෑමක් නැහැ කියලා.
ඒත් ඔබලගේ ප්‍රධානම සාක්ෂිකරු පසුගිය දවසක කිව්වෙ වෙනත් කතාවක්නේ?
අපේ රට ගැන හිතද්දි මං ඒ ගැන එච්චර පුදුම වෙන්නෙත් නැහැ. මොකද අපේ රටේ මිනිස් ජීවිත වුණත් සල්ලිවලට විකිණෙන තත්ත්වයන් අපි දැකලා තියෙනවා. ඔය පුද්ගලයා අවුරුදු 15ක් තිස්සේ මගේ තාත්තා ළඟ අපේ පවුලේ කෙනෙක් වගේ හිටියේ.
ඕනම සිදුවීමකදී බය, තිගැස්ම, දුක වගේ හැම හැඟීමක් එක්කම දෙන පළමුවැනි සාක්ෂිය තමයි වඩාත්ම වැදගත් වෙන්නේ. ඒ නිසා තමයි සිද්ධියක් වෙච්චගමන් ඒ වෙලාවෙම සටහන් ගන්නේ. ටික දවසක් ටික වෙලාවක් ගත වෙනකොට මොන හේතුවක් නිසා හරි ඒක වෙනස් වෙන්න පුළුවන්. ඔබ ඔය කියපු පුද්ගලයා සිදුවීම වුණු වෙලාවෙ දීපු සාක්ෂිය අවුරුදු එකහමාරකට පස්සෙ වෙනස් වුණේ කොහොමද කියන එක ප්‍රශ්නයක්.
අනෙක ඔහු බලපෑමක් ගැන කියනවා. ඔහු ඇඟිල්ල දික්කරන්නේ මටයි මගෙ අම්මාටයි නම් ඔහුගෙන් මට පෙරළා ප්‍රශ්න කළ යුතු දෙයක් තියෙනවා. ඒ තමයි මට මගේ තාත්තා නැතිවෙලා මගෙ අම්මාට ස්වාමිපුරුෂයා නැතිවෙලා අපිට අපේ ජීවිත ගැනවත් හරි හැටි හිතාගන්න බැරිව හිටිය වෙලාවක අපි කොහොමද වෙන කෙනෙක්ට බලපෑම් කරන්නේ.
කරුණු කාරණා පෙළගැහෙන විදිය අනුව දුමින්ද අධිකරණයට ඉදිරිපත් වෙයි කියලා ඔබ හිතනවද?
මීළඟ නඩුවාරය තියෙන්නේ මේ මාසෙ 14 වැනි බ්‍රහස්පතින්දා. එදිනට කෙසේ හෝ ඔහුව අධිකරණයට ඉදිරිපත් කළ යුතුයි කියලා මං විශ්වාස කරනවා. ඔහු පෞද්ගලික රෝහලක ඉන්නේ බන්ධනාගාර නිලධාරීන්ගේ රැකවරණය යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කරපු සැකකරුවෙක් විදියට. ඔය වගේ අවස්ථාවල් මීට කලිනුත් අපි දැකලා තියෙනවා.
ඔය සිදුවීමෙදි වෙඩි වැදුණු ගාමිණී රාජපක්ෂ මහත්තයාගේ හිස් කබලේ කොටසක් අයින් කරලා තිබුණේ. ඔහු අපේ පාර්ශ්වයේ කෙනෙක්. අනෙක ඔහුගේ ඇහැට වෙඩි වැදිලා තිබුණේ. එහෙම තත්ත්වයකදීත් ඔහුව අධිකරණයට ඉදිරිපත් කළා. දුමින්ද සිල්වටත් ඔය කියන තරම් සෞඛ්‍ය ප්‍රශ්න තියෙනව නම් ඒ වුණත් ඔහුව අධිකරණයට ඉදිරිපත් කළ යුතුයි.
එහෙම නොකළොත්?
මං විශ්වාස කරන විදියට එහෙම නොවී තියෙන්න විදියක් නැහැ. අනෙක අපට විතරක් නෙවෙයි ඔහුගේ පාර්ශ්වයේ අයටත් අයිතියක් තියෙනවා දුමින්ද කරන ප්‍රකාශය මොකක්ද කියලා දැනගන්න. මොකද මගේ තාත්තා ඝාතනය කරපු සිදුවීමට සෙනඟ රැස් කරගෙන අවි ආයුධ අරගෙන ප්‍රධානියා වෙලා ආවෙ ඔහු. එතැන වුණු වැරැද්දට ප්‍රධානියත් අනිවාර්යයෙන්ම වගකිවයුතුයි. ඒ නිසා ඔහුව අධිකරණයට ඉදිරිපත් කළ යුතුමයි. ඒක එහෙම නොවුණොත් මගේ නීතිඥයන් මාර්ගයෙන් ගන්න පුළුවන් උපරිම නීතිමය ක්‍රියාමාර්ග ගන්න මං සූදානම්.
දුමින්ද ලංකාවට ආවා කියන ආරංචිය ලැබුණහම මොකද හිතුණේ?
තාත්තගෙ ඝාතනයෙන් පස්සේ මං බලාගෙන හිටිය දවස ආවා නේද කියල හිතුණා. ඒ වගේම මෙච්චර කාලයක් ගිහිල්ලා හරි දුමින්ද ආව එක හොඳයි කියලත් හිතුණා. මොකද ඔහුගෙ පැමිණීමත් එක්ක මගේ තාත්තගෙ ඝාතනයට සාධාරණයක් ඉටුකරගන්න කරන සටනට මාව තව තවත් ශක්තිමත් වුණා.
අනෙක ඔහු විදේශගතවෙලා හිටිය එකෙන් සහ ලංකාවට ඇවිත් සුපිරි පහසුකම් තියෙන පෞද්ගලික රෝහලක නැවැතී සිටීමෙන් ඔහුගේ පාර්ශ්වයේ අයටත් කරන්නේ අසාධාරණයක්.
ඒ මොකක්ද?
දුමින්ද පෞද්ගලික රෝහලක වී.අයි.පී. කාමරයක ඉන්නකොට ඔහුත් එක්කම එකට වැරැද්ද කරපු ඔහුගේ කණ්ඩායමේ අනෙක් අය දුක් විඳිනවා. ඔවුන් කරපු වැරැද්දට එහෙම දුක්විඳින්න ඕන. ඒත් ඒකෙ ප්‍රධානියා සැප විඳ විඳ තමන්ගෙ ගෝලයන්ට කොකා පෙන්වනවා වගේ වැඩක් කරන්නේ. අනිත් කාරණය තමයි මම හොඳටම දන්නවා වගේම මට සාක්ෂි ඇතුව ඔප්පු කරන්න පුළුවන් දුමින්ද ඉන්නේ දෙපයින් ඇවිදගෙන යන්න පුළුවන් හොඳ කායික සෞඛ්‍ය මට්ටමක.
ඉතින් ඇයි ඒ සාක්ෂි අධිකරණයට ඉදිරිපත් නොකරන්නේ?
හොඳම සහ සුදුසුම වෙලාව ආවහම අපි ඒ සාක්ෂි ඉදිරිපත් කරනවා. ඔහුගේ මානසික සෞඛ්‍ය තත්ත්වය ගැන කියන්න මම දන්නෙ නැහැ. හැබැයි මම හොඳටම දන්නවා ඔහුගේ කායික සෞඛ්‍ය මට්ටම ඔය කියන තරම් ප්‍රශ්නයක් නෑ කියලා. දුමින්ද කටුනායක ගුවන්තොටුපොළේ රෝද පුටුවකින් ගෙනාවා කියන්නේ බොරුවක්. ඔහු හොඳින් දෙපාවලින් ඇවිදගෙන ඇවිත් වාහනයට නැඟලා තියෙන්නේ. අනෙක මීට මාස තුනකට ඉහතදීත් දුමින්ද ඉන්නවා කියපු සිංගප්පූරුවෙ රෝහලේ ඔහු නේවාසිකව හිටියෙ නැහැ.
එහෙනම්?
අපට සාක්ෂි තියෙනවා මීට මාස තුනකට උඩදිත් ඔහු එම රෝහලේ 'ඉන් ඇන්ඩ් අවුට්' පේෂන්ට් කෙනෙක්. ඒ කියන්නේ බෙහෙත් ගන්න එනවා බෙහෙත් අරන් ආපහු යනවා. ඒක ඔහුට බොරු කියන්න බැහැ.
ආණ්ඩුවෙ ඉන්න ඇමැතිවරු කවුරුවත් ඔබට කතා කළේ නැද්ද?
බොහෝ දෙනෙක් කතා කළා. ඒත් ඒ අයට ප්‍රශ්නයක් වෙන හින්දා මං ඒ අයගේ නම් කියන්න කැමැති නැහැ. හැබැයි ඒ හැමෝම මාව ධෛර්යවත් කරමින් කියා හිටියේ මේ අසාධාරණයට එරෙහිව සටන් කරන්න කියලයි.
ඔබේ සටනේ අවසානය කුමක් වෙයිද?
මෙහෙමයි. ඇත්ත කොච්චර හංගන්න හැදුවත් කවදාහරි ඒක එළියට එනවා. ඇත්තට මූණ දෙන්න බැරිව කරපු වැරැද්දට දඬුවම් විඳින්න බයේ කොච්චර කාලයක් පිටරටකට වෙලා හිටියත් දුමින්දට අන්තිමට ලංකාවට එන්න වුණා. අද ඔහු හැංගිලා හිටියත් කවදාහරි මිනිස්සු ඉස්සරහට එන්න වෙනවා. ඒක තමයි ඇත්ත. ඒ වගේම කරපු වැරැද්දට දුමින්දට දඬුවම් විඳින්නත් සිද්ධ වෙනවා. මගේ තාත්තගේ ඝාතනයට සාධාරණයක් ඉටුවුණා කියලා හිතන්න පුළුවන් එදාට. මං විශ්වාස කරන විදියට මේ සටනේ අවසානය එතැනයි.
හසිත කුරුප්පු
උපුටා
ගැනීම -මව්බිම