අලි දෙන්නෙක් තෑගි කළත් ජිනීවාවලදී ජපානයත් අපට විරුද්ධ වුණා

මානව හිමිකම් කොමිසම කටේ තිබියදී ජනාධිපතිවරයා ජපානයට ගොස් එහි නායකයන් හමු වී අලි දෙදෙනකු තෑගි දී පැමිණියද ජපානය අපට එරෙහිව ඡන්දය පාවිච්චි කළ බව පෙන්වා දුන් මන්ත්‍රිවරයා ජාත්‍යන්තර සබඳතා ගොඩනඟාගත හැකි වන්නේ අපේ විදේශ ප්‍රතිපත්ති පදනම් කරගෙන පමණක් බවත්, 2009 යුද්ධය නිමාවූ පසු ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමටත්, 13 වැනි සංශෝධනය පදනම් වූ දේශපාලන විසඳුමක් ලබාදීම ඇතුළු කරුණු ගණනාවක් ඉටු කරන බවට ආණ්ඩුව විසින් ලබාදුන් පොරොන්දු හා අස්සන් කළ ගිවිසුම් ඉටු නොකිරීම නිසා ආණ්ඩුවට එරෙහි ජිනීවා යෝජනාව සම්මතවූ බැවින් එහි වගකීම ආණ්ඩුව භාරගත යුතු බව මහනුවර දිස්ත්‍රික් එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා අවධාරණය කරයි.
මාධ්‍ය නිදහස තහවුරු කිරීම, මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම, අවනීතිය නැතිකර 17 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීම, අවිගත් කණ්ඩායම් නිරායුධ කිරීම, නීතියේ ආධිපත්‍යය සුරැකීම යන කරුණු ඇතුළත් එම පොරොන්දු ඉටු කිරීමට වසර හතරක් තිස්සේ ආණ්ඩුව අපොහොසත් වූ බවත් මෙම ප්‍රශ්නයේ බරපතළකම සලකා එම කරුණු ඉටුකිරීමට එ.ජා.ප. නායකයා ඉදිරිපත් වූ අවස්ථාවේ ආණ්ඩුව එය සමච්චලයට ලක්කොට බැහැර කළ බවත් මන්ත්‍රිවරයා පෙන්වා දෙයි. 2009 දී මෙම කරුණු ඇතුළත් ශ්‍රී ලංකාවේ යෝජනාව වැඩි ඡන්ද 19කින් ජයග්‍රහණය කිරීමට හැකි වූයේ ඊට ඇතුළත් මෙම පොරොන්දු නිසා බවද කිරිඇල්ල මහතා ප්‍රකාශ කරයි.

රාජගිරිය, ජාතික වතු කම්කරු සමිති මධ්‍යස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මෙම අදහස් පළකළ කිරිඇල්ල මහතා ආණ්ඩුව ජාත්‍යන්තරයට දුන් පොරොන්දු ඉටුකිරීමට අවශ්‍ය යාන්ත්‍රණයක් සකස් කිරීම සඳහා එ.ජා.ප.ය තවදුරටත් සහාය දීමට සූදානම් බවත්, ඒ සඳහා සර්ව පාක්‍ෂික සමුළුවක් කැඳවිය යුතු බවත් පෙන්වා දුන්නේය.
යුද්ධය නිමවීමෙන් පසු මෙම කරුණු ඇතුළත් පොරොන්දු ඉටුකරන බවට එ.ජා. මහ ලේකම් බෑන් කී මූන් මහතා සමඟ ඒකාබද්ධ ප්‍රකාශනයක් අස්සන් කෙළේ එ.ජා.ප.ය නොව මේ රටේ නායකයා වූ ජනාධිපතිවරයා බවත් දහතුනට එහා ගිය විසඳුමක් ලබා දෙන බවට ඉන්දියාවට ප්‍රතිඥා දුන්නේ ඔහුම බවත් සඳහන් කළ මන්ත්‍රිවරයා ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය වී තිබේ නම් එය පරීක්‍ෂා කිරීමට යාන්ත්‍රණයක් සැකැසීමට එ.ජා. මානව හිමිකම් කොමිසමට බලය දුන්නේද අන් කවුරුත් නොව මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා බවත් කීවේය.

රාජපක්‍ෂ ආණ්ඩුව 17 වැනි සංශෝධනය ක්‍රියාත්මක කරන බවට පොරොන්දු වී කෙළේ එය අහෝසි කිරීම බවත්, නීතියේ ආධිපත්‍ය සුරකින බව කියමින් අගවිනිසුරුවරිය නෙරපා හැරිය බවත් පෙන්වා දුන් කිරිඇල්ල මන්ත්‍රිවරයා, පොරොන්දු වූ පරිදි මේ දක්වා අතුරුදන් වූවන් පිළිබඳ පරීක්‍ෂණ නොපැවැත්වූවා පමණක් නොව රැඳවියන්ගේ ලැයිස්තුවක් ලබා දීමටද ආණ්ඩුව තවමත් අපොහොසත් වී සිටින බවද පැවැසුවේය.

Gossip Lanka Hot News Previous News Archive