ජාතික රූපවාහිනි සංවත්සරය වෙනුවෙන් වැඩසටහන්වල විශාල වෙනසක් සිදු කෙරෙනවද?
අපි ඒ වෙනස කර තිබෙනවා. මම මේ වෙනස හඳුන්වන්නේ ‘රැඩිකල් වෙනස’ කියලයි. ඒ වෙනස රූපවාහිනි නරඹන අයට දකින්න පුළුවන්. ඒ වෙනුවෙන් මම පෙන්වන එක් උදාහරණයක් තමයි ‘සුජාත දියණිය’ ටෙලි වෘතාන්තය. ඒක කොයි තරම් මේ රූපවාහිනි ප්‍රේක්ෂක පිරිසක් නැරඹුවද? ආදායම අතිනුත් ඉතාමත් සුවිශේෂී ආදායමක් මෙමගින් අපේ ආයතනයට ලැබුණා. විශේෂයෙන්ම ‘සුජාත දියණිය’ ගැන කතා කළොත් ඒ කතා මාලාවට ලංකාවේ පුවත් පත් හැම එකකින්ම ලැබුණු සහයෝගය මතක් කළ යුතුයි.
අවසානයේ දී ඒක අපේ දෙයක් වුණේ නැහැ. ඒක පුවත්පත් වලටම අයිතිවුණු චරිතයක් වුණා. කොහොම හරි ඔය ජනප්‍රියතාවය නිසාම ‘සුජාත දියණි’ ටෙලි නාට්‍යය විකාශය නිමා වුණාට පසු අපි තවත් අලුත් ටෙලි නාට්‍යයක් පටන් ගන්නවා ‘අභීත දියණි’ කියලා. මීට අමතරව අපේ ජීවිතවල විවිධ පැතිකඩ ගැන කතා කරන වැඩසටහනක් අපි පටන් ගත්තා. ඒ වැඩ සටහනේ නම ‘අපි අපි‘. ඒ වගේම ජාතික රූපවාහිනිය නරඹන ඔය හැමෝටම දකින්න පුළුවන් වේවි සංගීත වැඩ සටහන්වල පවා වෙනස් බවක් තිබිම.
අපි මේ හැම දෙයක්ම කරන්නේ වෙනස්ම චින්තනයක සිටිමිනි. යහපත් මාධ්‍ය භාවිතයකට උචිත සන්නිවේදන මෙවලමක් හැටියට තමයි අපි ක්‍රියාකරන්නේ. අපේ ප්‍රධාන බලාපොරොත්තුව මුදල් ඉපයීම නෙවෙයි. නමුත් මුදල් උපයනවා. ඒ අපේ ආයතනය පැවැත්ම සඳහා පමණයි.
ඔබ සඳහන් කරන්නේ සෙසු නාලිකා එහෙම නැහැ කියලද?
අද බොහෝ ටෙලිවිෂන් නාලිකා මුදල් උපයන්න බලාපොරොත්තු වන්නේ අර්ධ අසභ්‍ය ජවනිකා ඇතුළත් දර්ශන උපයෝගි කරගෙනයි. ප්‍රබල ලිංගික අභිනවයන් සහිත රූප රාමු පෙන්වලයි. මේවා සමාජය තුළට ගියාම අපේ යෞවන යෞවනියන් තුළ මානසික තත්ත්වය කොයි තරම්ද? මම හැම විටම විශ්වාස කරන එක දෙයක් තමයි ඒ තමයි මේ සමාජය තුළ සිදුවන අපරාධත් පවතින මාධ්‍ය භාවිතයත් පුංචි කාලේ සම්බන්ධයක් පවතින බව. තාත්තා කෙනෙක් තරුණියක් එක්ක යාළුවෙලා දරුවෝ දෙන්නයි බිරිඳවයි මරණ තැනට එන්නේ මේ රාග උන්මාදය ඇතුළත් මාධ්‍ය භාවිතය තුළ තිබෙන වැරැද්ද නිසයි.
අද බොහෝ මාධ්‍ය පුරුදු වී සිටින්නේ රාගාධික ප්‍රවෘත්ති උළුප්පා පෙන්වන්නයි. මේවා ජාතික රූපවාහිනිය අනුමත කරන්නේ නැහැ. අපේ වැඩ සටහන් තුළ මේවා නැහැ. අද බලන්න වැඩ සටහන් මෙහෙයවන තරුණ ගෑනු ළමයි ඇඳුම් අඳින්නේ, වාඩි වෙන්නේ ඇඟ පසඟ පෙනෙන විදිහටයි. එහෙම තමයි අද වැඩසටහන් විකුණන්න උපයෝගි කරගන්නා දේවල්. අපි මේ දේවල් ගැන ප්‍රවේශම් වෙනවා. මේවා රාග උන්මාදය සමාජය තුළ මතුවෙන්න අපි රුකුල් දෙන්නේ නැහැ.
මොන දේ වෙනස් කළත් මෙවැනි ආයතනයක් තුළ පවතින දේශපාලන අත පෙවීම් හා මැදිහත් වීම් තුළින් සිදුවන පක්ෂග්‍රාහී තත්ත්වය වෙනස් කළ නොහැකියි නේද?
ජාතික රූපවාහිනිය තුළ වැඩසටහන් විකාශය වන කාලය පැය 22 ක්. ඒ කාලය අරන් බැලුවොත් පැය දෙකක්වත් දේශපාලන වැඩසටහන්වලට කාලය වෙන්වී නැහැ. හුඟාක් තිබෙන්නේ දැනුම ලැබෙන, සංස්කෘතික වටිනාකමකින් හෙබි වැඩ සටහන්. එහෙමත් නැත්නම් ටෙලි නාට්‍ය හා වාර්තා වැඩසටහන්. නමුත් ඔබේ ප්‍රශ්නයට මා උත්තර දෙන්නම්. මා හිතනවා ජනමාධ්‍ය පමණක් නමෛයි. කිසිදු මාධ්‍යයක් සම්පූර්ණයෙන්ම දේශපාලන තත්ත්වයෙන් මිදෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. වෙන්නත් බැහැ. මට පරම ස්වාධීන එක් ආයතනයක් පෙන්වන්න. පෞද්ගලිකයි කියන මාධ්‍ය වල පවා එහෙම ස්වාධීනත්වයක් නැහැ.
වර්තමානයේ විකාශය වන බොහෝ රූපවාහිනි නාලිකා තුළ තිබෙන්නේ එකම රාමුවකට වෙන් වූ වැඩසටහන්. රියැලිටි ෂෝ, ටෙලි නාට්‍ය , එකට ආකෘතියක කාන්තා වැඩසටහන්, දේශපාලන වැඩසටහන් හා කාටුන්... මොකක්ද මේකට හේතුව..?
අපි මෙවැනි වැඩසටහන්වලට වඩා වෙනස් වැඩ සටහන් ඉදිරිපත් කරනවා. කාලය වෙන් කරනවා. දැන් බලන්න අපේ අධ්‍යාපන වැඩසටහන් දිහා. අනිකුත් රූපවාහිනි නාලිකාවලට වඩා අපි වැඩි කාල සීමාවක් ඒ වෙනුවෙන් වෙන් කරනවා. මුදල් වෙන් කරනවා. අපි උපයන මුදල්වලින් ආයතනය පවත්වා ගෙන යනවා වගේම මෙවැනි වැඩසටහන් නිෂ්පාදනය කරන්නත් මුදල් වෙන් කරනවා.
අපි මේ ගමන යන්නේ දුෂ්කරතා රැසක් මැදින්. අපිට මුදල් කොහෙන්වත් ලැබෙන්නේ නැහැ. අපි හම්බ කරන ගමන් තමයි මේ ආයතනය පවත්වාගෙන යන්නේ. නමුත් එහෙම කරලා ඔබ කියනව වගේ ඒකාකාරී රාමුවක අපි කොටුවෙන්නේ නැහැ. ව්‍යාපාරික ආයතනවලට වුවමනා වෙනවා ඔවුන් බලාපොරොත්තු වෙන දේ කළ යුතුයි කියන තැන අපි නැහැ. නමුත් අද සියලු නාලිකා ඉන්නේ එකම තැනක. අපි සදාචාරය රකිමින්, රූපවාහිනි භාවිතය තුළ තිබෙන පිළිවෙත් තුළට අනුගත වෙමින් උඩුගම් බලා පීනනවා.
සමන් ප්‍රියංකර නම්මුනිගේ - ලක්බිම පුවත්පතින් උපුටා ගන්නා ලදී