එල්.ටි.ටි.ඊ. සංවිධානයේ නායකව සිටි ප්රභාකරන්ගේ බාලපුත් 12 හැවිරිදි බාලචන්ද්‍රන් ශ්‍රී ලංකා හමුදාව විසින් වෙඩි තබා ඝාතනය කළැයි කියන ප්‍රකාශය සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.ඉන්දියාවේ “ද හින්දු” පුවත්පත සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව පවසා ඇත.
එවැන්නක් සිදුවුවානම් තමා දන්නා බවත් එහෙත් එවැනි ක්‍රියාවක් ශ්‍රී ලංකා හමුදාව අතින් සිදු නොවී ඇති බවත් ජනාධිපතිවරයා පවසා තිබේ.එසේම ශ්‍රී ලංකා හමුදාව අතින් එවැනි ඝාතනයක් සිදුවූවානම් එහි වගකීම භාරගන්නා බවද ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.
එම පුවත්පත විසින් විමසන ලද ප්‍රශ්නවලට ජනාධිපතිවරයා මෙසේද පිළිතුරු ලබාදී ඇති බව එකී පුවත්පතේ සඳහන්ය.මීට පෙර පැවසු ආකාරයට උතුරු පළාත් මැතිවරණය සැප්තැම්බර් මාසයේදී පවත්වන බවත් එම මැතිවරණය නිසා සෙසු පළාත් සභාවල මැතිවරණය කල්දමා ඇති බවත් මහින්ද රාජපක්ෂ මහතා පවසා තිබේ.යුද්ධය නිමවී වසර 3ක් ඇතුළත උතුරු පළාතේ ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීම සඳහා අවශ්‍ය සියලු පියවර ගෙන ඇතැයි ද එම ජනතාවට දේශපාලන විසඳුමක් ලබාදීමට පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් පත්කර ඇතැයිද ඔහු සඳහන් කර ඇත.
ජාත්‍යන්තර විසින් “ශ්‍රී ලංකාව වොලිබෝලයක්” බවට පත්කර ගෙන ඇති බවත් ඔවුන් වොලිබෝලයකට පහරදෙන ආකාරයට තම රටට පහරදෙන බවත් ජනාධිපතිවරයා පෙන්වාදී තිබේ.
ජගත් මානව හිමිකම් සමුළුවේදී ඉන්දියාව පවා ශ්‍රී ලංකාවට බලපෑමක් කරනු ඇතැයි යන සැකයක් ඇති බවත් ඉන්දියාව අසල්වැසියා සම්බන්ධයෙන් ගනු ලබන තීරණය ගැන තමාට කිසිවක් කිව නොහැකි බවද මහින්ද රාජපක්ෂ මහතා “ ද හින්දු” පුවත්පතට පවසා ඇත.