ශ්‍රී ලංකික ජනතාව වඳ වීමේ අවදානමක් - Radiation Leak at Kudankulam

ඉන්දියාවේ කූඩන්කුලම් න්‍යෂ්ටික බලාගාරය නිසා සිංහල පමණක් නොව දෙමළ, මුස්ලිම් සියලූදෙනා වඳ විය හැකි බව කූඩන්කුලම් න්‍යෂ්ඨික බලාගාරයට එරෙහි ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු දුමින්ද නාගමුව මහතා පවසයි.

ඉන්දියාවේ කූඩන්කුලම් න්‍යෂ්ටික බලාගාරයේ යුරේනියම් පිරවීමේදී විකිරණ කාන්දුවක් සිදුව ඇති බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇති අතර ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වීමේ මාධ්‍ය හමුවක් කූඩන්කුලම් න්‍යෂ්ඨික බලාගාරයට එරෙහි ජනතා ව්‍යාපාරය විසින් අද (03) කොළඹ, නිපෝන් හෝටලයේදී පවත්වන ලදී.

ඊට කූඩන්කුලම් න්‍යෂ්ඨික බලාගාරයට එරෙහි ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු දුමින්ද නාගමුව, මෙහෙයුම් කමිටු සාමාජිකයින් වන සුරේන්ද්‍ර අජිත් රූපසිංහ, රවීන්ද්‍ර කාරියවසම් සහ ප‍්‍රසාද් මංජුල අම්බලන්යාය යන මහත්වරු සහභාගි වූහ.දුමින්ද නාගමුව මහතා දැක්වූ අදහස්මේ සියවස මානව සමාජයේ පැවැත්ම සම්බන්ධයෙන් තීරණාත්මක සියවසක් ලෙස හඳුන්වා තිබෙනවා. මිනිසා තවදුරටත් පෘථිවිය මත පවතිනවාද නැද්ද කියන සංවාදය මේ සියවසේදී පෙරට ඇවිත් තිබෙනවා.
කූඩන්කුලම් න්‍යෂ්ඨික බලාගාරයේ ක‍්‍රියාවලිය ආරම්භ කළ පළමු අවස්ථාවේදීම විකිරණ කාන්දුවක් සිදුව තිබෙනවා. එහෙම නම් මෙතනින් පස්සේ තත්වය පැහැදිලියි. ඒ නිසා ඉතාම බරපතළ අවදානමක් තිබෙනවා. මේ බලාගාරයේ පාවිච්චි වෙන්නේ රුසියාවේ අඩු තාක්ෂණය බව අපි මීට පෙරත් පෙන්වා දුන්නා. දැන් ඔවුන් යුරේනියම් පුරවන්නේ ලංකාවේ විකිරණ මාපක සවි කරන්නේත් නැතිව. ඒ ගැන කවුද වගකියන්නේ?

ඉන්දියාවේ මධ්‍යම රජය සහ මීට වගකිව යුතු ආයතන කියලා තිබෙනවා, විකිරණ කාන්දුවක් නැහැ කියලා. ඔවුන් මේක පිළිගන්නේ නැහැ. ඔවුන් පමණක් නොවෙයි, ලෝකයේ කිසිම රටක් තමන්ගේ රටේ තිබෙන න්‍යෂ්ටික බලාගාරවලින් විකිරණ කාන්දුවක් සිදු වෙනවා කියලා ඉතිහාසයේ කවදාවත් පිළිනොගෙනම බැරි අවස්ථාවක හැර පිළිගෙන නැහැ. විකිරණ කාන්දුවක් වෙලා තියෙනවාද කියලා ඔවුන්ගෙන් අහන එක හොරාගේ අම්මාගෙන් පේන අහනවා වගේ වැඩක්.

මේ වන විට ඔවුන් මේ වෙනුවෙන් බිලියන ගණනක් ණය වෙලා, විශාල මුදලක් වියදම් කරලා තිබෙනවා. ඒ නිසා “ඔව් විකිරණ කාන්දුවක් වෙලා තියෙනවා, ඒ නිසා අපි මේ ව්‍යාපෘතිය අතහැර දමනවා” කියලා බලාගාරය වහලා දාන්නේ නැහැ. ඒ වෙනුවට එහෙම එකක් නැහැ කියලා සඟවනවා.

එවැනි කාන්දුවක් සිදු වෙලා තියෙනවාද කියලා දැන ගන්න වෙන්නේ ලංකාවේ විකිරණ මාපක සවි කරලා තිබෙනවා නම් පමණයි. ඒත් ලංකාවේ ආණ්ඩුව එවැනි විකිරණ කාන්දුවක් සිදු වෙලා තියෙනවා, ඒක මාපකවල සටහන් වෙලා තියෙනවා කියලා කියන්න ඕන. එහෙම කියන්නේත් නැත්නම් ඒක දැන ගන්න වෙන්නේ මළ දරු උපත්, නිල් දරු උපත් සිදු වෙද්දී, පිළිකා ඇති වෙද්දී.

ආණ්ඩුව ඉන්දියාවත් එක්ක ගිවිසුම් ගහලා තියෙන්නේ, හානියක් වුණොත් වන්දි ගන්න. එවැනි අනතුරක් සිදු වුණොත් කවුද වන්දි ගන්න ඉතිරි වෙන්නේ?

අද සිංහල බෞද්ධයා වඳ වෙනවෝ කියලා කෑ ගහන අයටත් අපි කියන්නේ මේ බලාගාරය නිසා සිංහල විතරක් නොවෙයි, දෙමළ මුස්ලිම් සියලූ දෙනා වඳ වෙන්න පුළුවන්. මේක තමයි ජනතාව වඳ භාවයට පත් වෙන ඇත්ත ප‍්‍රශ්නය. ඒනිසා බොරුවට කෑ ගහන අයටත් අපි කියනවා, මේක තමයි ඇත්ත ප‍්‍රශ්නය මේ වෙනුවෙන් හඬ නඟන්න කියලා.

පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් මහතා දැක්වූ අදහස්

‘‘ඉන්දියාවේ කූඩන්කුලම් න්‍යෂ්ඨික බලාගාරයේ යුරේනියම් පිරවීමේදී විකිරණ කාන්දුවක් සිදුව තිබෙන බව ඉන්දියාවේ ඩෙකෑන් ක්‍රෝනිකල් වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා. පසුගිය 22 වැනිදා සිට තූත්තුකුඩි, කන්‍යාකුමාරි ආදී ප‍්‍රදේශවල සිටි ජනතාව ඉවත් වෙමින් සිටිනවා. එදා රෑ පල්ලිවල සීනුව නාද කරලා අනතුරු ඇඟවීමක් කරලා තිබෙනවා. මේක නිරන්තරයෙන් සිද්ධ වෙන කාන්දුවීමක්.

මෙම න්‍යෂ්ඨීක බාලාගාරවලින් පිටවන විකිරණ මිනිසුන්ට සහ පරිසරයට ඉතාම හානිකරයි. ෆුකුෂිමා බලාගාරයේ සිදු වුණු පිපිරුමෙන් පස්සේ අමෙරිකානු මුහුදේ සිටින ටූනා මත්ස්‍යයින්ගේ සිරුරුවල විකිරණ අඩංගුයි කියා සොයා ගත්තා.

ඒ වගේම ඒ අනතුරෙන් මාස 18කට පස්සේ, බලාගාරයේ සිට කිලෝමීටර් 700ක් දුරින් පිහිටි කුඹුරුවල සහල්වල විකිරණ අඩංගු බව සොයා ගත්තා. නමුත් ලංකාව තිබෙන්නේ කූඩන්කුලම් න්‍යෂ්ටික බලාගාරයේ සිට කිලෝමීටර් 500ක් ඇතුළත.

2006 සහ 2010 වසරවල කූඩන්කුලම් ප‍්‍රදේශයේ භූ චලන දෙකක් ඇති වී තිබෙනවා. ඒ වගේම 2004 සිදු වූ සුනාමි ව්‍යසනයේදී මේ ප‍්‍රදේශයට විශාල හානියක් සිදු වුණා. එවැනි අනතුරක් ඉදිරියේදීත් සිදුවීමේ අවදානම පවතිනවා.

මෙවැනි අනතුරක් තිබියදීත් ආණ්ඩුව 2011-2030 ජාතික භෞමික සැලැස්මක් හදලා ඒකේ පංචමහා කේන්ද්‍ර අතරේ එකක් විදියට බලශක්තිය නිපදවා අලෙවි කිරීම නම් කර තිබෙනවා. මේ සූදානම් වෙන්නේ ලංකාවේත් න්‍යෂ්ඨික බලාගාරයක් පිහිටුවීමට බව පැහැදිළියි. ජර්මනියේ, රුසියාවේ ඉවත් කරන බලාගාර තමයි මේ ගෙනත් ස්ථාපිත කරන්න හදන්නේ.

සුරේන්ද්‍ර අජිත් රූපසිංහ මහතා දැක්වූ අදහස්

විකිරණ කාන්දුවක් සිදු වෙනවාද කියලා නිරීක්ෂණය කරන්න ක‍්‍රමවේදයක් ලංකාවේ ආණ්ඩුවට නැහැ. ලංකාවේ ආණ්ඩුව ඉන්දියාවේ දේශපාලන න්‍යාය පත‍්‍රයට යට වෙලා වැඩ කරන්නේ. ලංකාවේ ජනතාවගේ ජීවිතවලට, ඔවුන්ගේ ආරක්ෂාවට ආණ්ඩුව වගකිව යුතුයි.

Gossip Lanka Hot News Previous News Archive