ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට එරෙහිව කරන ලදැයි පැවසෙන යුද අපරාධ හෙලා දැකීමට අපොහොසත් වූ බවට මධ්‍යම ආණ්ඩුවට චෝදනා කරමින් තමිල්නාඩුවේ ද්‍රාවිඩ මුන්නේත්‍ර කලහම් (DMK ) පක්ෂය පාලක සභාගයෙන් ඉවත්වන බව නිවේදනය කිරීමෙන් අනතුරුව ප්‍රකාශයක් කළ කොන්ග්‍රස් පක්ෂ නායිකා සෝනියා ගාන්ධි, ශ්‍රී ලංකාවේ 'වර්ග සංහාරය' ගැන පරීක්ෂණයක් අවශ්‍ය බව කියා සිටියාය.
කොන්ග්‍රස් පක්ෂ මන්ත්‍රීවරුන්ගේ රැස්වීමක් අමතමින් ඒ බව කියා සිටි සෝනියා ගාන්ධි, ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ ඉරණම පිලිබඳ සිය වේදනාව සහ සංවේගයද පළ කළ බව අගමැති කාර්යාලයේ නාරායනසාමි අමාත්‍යවරයා පැවසීය.ආණ්ඩුවේ අමාත්‍ය තනතුරු දරන DMK සාමාජිකයන් පස් දෙනා ද අමාත්‍ය පදවිවලින් ඉල්ලා අස්වීමට නියමිත අතර, ලබන බ්‍රහස්පතින්දා ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාව සම්මත වන තුරු ඉවසා සිටීමට DMK පක්ෂයට අවස්ථාව තිබුණු බවයි, එම ඉල්ලා අස්වීම පිළිබඳව ප්‍රතිචාරය පළ කරමින් අමාත්‍ය නාරායනසාමි සඳහන් කළේ.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgYBU2pbjBXcbKWzW_G9uk21Bmr7s0hA7SVCjFJj7fPySvFGKm_-aEE-tKRqWNIWM7uIlfMcFEsbqDMVgQ7FeKHB-e2b3Zzvr1crCKyElidRnwlK6TLaG8XIexE9rCAh_XWv8mJVENe3lg/s1600/130106103804_karunanidhi_stalin_dmk_tamil_india_304x171_bbc_nocredit.jpg)
ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා විසින් කරන ලදැයි පැවසෙන යුද අපරාධ හෙලා දකිමින් ඉන්දීය පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කළ යුතු බව DMK නායක මුතුවේල් කරුණානිධි සභාග ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.එමෙන්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට ඉදිරිපත් කොට තිබෙන ශ්‍රී ලංකාව පිලිබඳ යෝජනාව සම්බන්ධයෙන් ඉන්දීය ආණ්ඩුවේ ස්ථාවරයද ඔහුගේ දැඩි විවේචනයට ලක්විය. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ යුද්ධයේදී මහා ජන සංහාරයක් සිදුවූ බව පැවසෙන වගන්තියක් මානව හිමිකම් මණ්ඩල යෝජනාවට ඇතුලත් කළ යුතු බව ඔහුගේ ප්‍රධානම ඉල්ලීමක්.
තම පක්ෂය කළ කිසිදු ඉල්ලීමකට පාලක කොන්ග්‍රස් පක්ෂයෙන් යහපත් ප්‍රතිචාරයක් පළ නොවූ හෙයින්, ඉන්දියාවේ පවතින්නේ දෙමළ ජනතා අභිලාෂයන් නියෝජනය කරන ආණ්ඩුවක් නොවන බවයි, DMK නායක කරුණානිධි චෙන්නායි නුවරදී මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ.දෙමළ ජනතාවගේ ගැටළු සම්පූර්ණයෙන්ම නොතකා හැරීමේ ආණ්ඩුවේ ක්‍රියාදාමය දැඩිව හෙලා දකින බව ද ඔහු පැවසීය.
බලයේ රැඳී සිටීම පිණිස ඉන්දීය ආණ්ඩුවට මන්ත්‍රීවරුන් 271 ක ගේ සහාය අවශ්‍ය අතර, DMK පක්ෂය ඉවත්වීමෙන් අනතුරුවත් පාලක සභාගයට මන්ත්‍රීවරුන් 280 ක ගේ සහාය හිමිවේ.කෙසේ නමුත් පාලක සභාගය බලයේ රැඳී සිටින්නේ තවත් ප්‍රාදේශීය පක්ෂ ගණනාවක ආධාරය මත බැවින්, ඇතැම් පනත් සම්මත කර ගැනීම ආණ්ඩුවට දුෂ්කර විය හැකි බව විශ්ලේෂකයන්ගේ මතයයි.
-BBC සංදේශය-