Pages

සම්බාහන මධ්‍යස්ථාන වල කෙරෙන පුදුම වැඩ - Sri Lankan Massage centres

නයිට් ක්ලබ්, මසාජ් ක්ලිනික් නැතහොත් රාත්‍රි සමාජ ශාලා, සම්බාහන මධ්‍යස්ථාන ගැන වෙනදාටත් වඩා අද බෙහෙවින් කතාබහට ලක්වෙමින් තිබේ. ඒ මක් නිසාද යත් මේ දින කිහිපය තුළ ඒ ආශි්‍රතව සිදුවූ නොමනා ක්‍රියාවන් කිහිපයක් මුල්කරගෙන ප්‍රවෘත්ති කිහිපයක්ම නිර්මාණය වීම හරහාය.

සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මඩම් කිහිපයක් මරදාන, බම්බලපිටිය, කොල්ලුපිටිය, වැල්ලවත්ත ආදී ප්‍රදේශවලින් පොලිසිය විසින් අනාවරණය කරගන්නා ලදී. විවෘත ආර්ථිකයේ ප්‍රතිඵලයක් ලෙස ලංකාවට ගොඩ බැසගත් "මසාජ් ක්ලිනික්" සංස්කෘතිය අද බෙහෙවින් විවිධ විපර්යාසවලට ලක් වී තිබේ. 'ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථාන සහ ඉංගී්‍රසි පන්නයට ගොඩ නැඟුණු ස්පා අද සම්බාහන මධ්‍යස්ථාන ලෙස නම් කළ හැකිය. සම්බාහන යනු ශරීරයේ පැවැත්ම වැඩිදියුණු කරන දිව්‍ය ඔසුවක් ලෙස නම් කිරීම වරදක් නොවේ. ශරීරයේ ඇති නිල තෙරපමින් ඒ හරහා ශරීරයේ ලේ ධාතූන්ගේ ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කිරීම මේ මඟින් සිදුවන ප්‍රධාන කර්තව්‍යයි.
එමඟින්, ශරීරයේ ඇති ලෙඩ රෝග නිවාරණය කර ගැනීම, පැහැපත් ශරීර වර්ධනය, ශරීර උදේ‍යාගය ආදී ක්‍රියාකාරිත්වයන් සිදුවේ.

ඒ අනුව සම්බාහනය ශරීරයට අවැසි දෙයක් ලෙස නම් කිරීමද වරදක් නොවේ. එහෙත් එය වරදක් වන්නේ එම සංස්කෘතිය කණපිට පෙරළමින් වෙනත් සංස්කෘතියක් ඒ හරහා නිර්මාණය වී තිබීම නිසාය. 

අද වන විට හතු පිපෙන්නාක් මෙන් සම්බාහන මධ්‍යස්ථාන බිහිවෙමින් තිබේ. මේ වන විට ලංකාව පුරා සම්බාහන මධ්‍යස්ථාන 270කට ආසන්න ප්‍රමාණයක් පිහිටා තිබේ. ඇත්තෙන්ම එම මධ්‍යස්ථානවල පෙර කී ආකාරයට වෘත්තිමය ප්‍රතිකාරයන් ඔවුන්ගෙන් සිදු වනවාද? සිදුවෙනවා නම් සිදුවන්නේ ඉතා සුළු ප්‍රතිශතයක් බව අමුතුවෙන් කිව යුතු නැත. සමහර සති අන්ත පුවත්පත්වල දැන්වීම් පිටු පිරී යන්නේ සම්බාහන මධ්‍යස්ථාන දැන්වීම්වලින්ය. තනපට ගසා ගත් කාන්තාවගේ ඡායාරූප හුවා දක්වමින්, සරාගී හැඟුම් මතුවන ආකාරයට ඇති එම දැන්වීම් වලින්ම පාරිභෝගිකයා රවටා හමාරය.

පැයට රු. 1000යි නැතහොත් රු 1500යි. "ඒ.සී. රූම්, උණුවතුර, තරුණ ළමයි" ඒ දැන්වීම්වල ඇති අතුරුපස කතාය.

ලංකාවේ සම්බාහන මධ්‍යස්ථානවලින් වැඩි හරියක් පිහිටා ඇත්තේ කොල්ලුපිටිය, බම්බලපිටිය, වැල්ලවත්ත, දෙහිවල, ගල්කිස්ස, රත්මලාන, නුගේගොඩ, මහරගම, කෝට්ටේ, රාජගිරිය, කැලණිය, මීගමුව ආදී තදාසන්න ප්‍රදේශ මුල්කරගෙනය. එම මධ්‍යස්ථාන සෑම එකකම පාහේ පිළිගැනීමේ නිලධාරිනියක් හෝ නිලධාරියෙක් සිටී.

ඒ අතර එම මධ්‍යස්ථාන පවත්වාගෙන යෑම සඳහා ඇති බලපත්‍රයේ අනිවාර්යයෙන්ම සම්බාහන කටයුතු සම්බන්ධයෙන් ආයුර්වේද සභාවේ ලියාපදිංචි වෛද්‍යවරයකු සිටිය යුතුය. ඔවුන්ට තිබෙන්නේ නමට පමණක් පුටුවේ ඉඳගෙන සිටීම පමණි.

සම්භාහන මධ්‍යස්ථාන කරා පැමිණෙන සෑම පුද්ගලයෙක්ම සම්බාහනය කිරීම සඳහා සුදුසුද යන්න එම වෛද්‍යවරයා විසින් නිර්දේශ කළ යුතුය. සමහර අධික රුධිර පීඩනය ඇති පුද්ගලයෝ සම්බාහනය කිරීම අනතුරුදායක බැවින් වෛද්‍ය අනුමැතිය අවශ්‍ය වේ. එහෙත් එය හුදු බලපත්‍රයේ අකුරුවලට සීමා වූවක් පමණි.

ලංකාවේ සම්බාහන මධ්‍යස්ථානවලින් සියයට අසූපහක් පමණ මධ්‍යස්ථානවල ලිංගික ක්‍රියාකාරකම් සිදුවේ

ලිංගික ක්‍රියාකාරකම් සිදුවන ක්‍රමවේදයන් යම් කිසි රාමුවක් තුළ සිදුවේ. සිංහල භාෂාවෙන් එම ලිංගික ක්‍රියාකාරකම් අර්ථ දැක්වීම අපහසුය. ඒවාට හුරු පුරුදුම වචන ඇත. සම්බාහනය කරන යුවතියට අමතර රුපියල් 500, 1000ක් වැනි සන්තෝසමක් දුන් විට එම ක්‍රියාකාරකම සිදුකර ගත හැකිය. ඊට වඩා තමන් සන්තෝසම වැඩිපුර දුන් විට වැඩි දුරටත් අවශ්‍ය ලිංගික අවශ්‍යතා සපුරාගත හැකිය.

සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් අමු අමුවේ ගණිකා වෘත්තිය සිදුකරන ප්‍රසිද්ධ තැන් බම්බලපිටිය හා කොල්ලුපිටිය ප්‍රදේශවල පිහිටා තිබේ.

 බම්බලපිටිය පැත්තේ මුහුද පැත්තට යන මාවතක පිහිටා ඇති ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානය තනිකර ප්‍රසිද්ධියේ සිදුකරන ගණිකා මධ්‍යස්ථානයකි. පාරිභෝගිකයා පැමිණෙන විට ඔවුන් අසන්නේ මසාජ් ද නැත්නම් සෙක්ස් ද කියාය. මසාජ් නම් ගෙවීම රු. 1200කි. සෙක්ස් නම් රු. 4000කි. එම මධ්‍යස්ථානයේ සුරූපී යුවතියෝ දහයක් පමණ සිටිති. ඔවුන් කැමැති කෙනෙක් තමන්ට තෝරාගත හැකිය. පොලිසියේ සහයෝගය නොමැතිව මේ අයුරින් ප්‍රසිද්ධියේ මෙම ව්‍යාපාරය කළ නොහැකිය. එපමණක් නොව ප්‍රබල දේශපාලන හස්තයක් එම ව්‍යාපාරයේ සිටින බවට කදිම සාක්ෂියක් වන්නේ ප්‍රබල ඇමැතිවරයෙක් එම ව්‍යාපාරයේ හිමිකරුට සහතිකයක් ලබා දෙන විශාල ඡායාරූපයක් රාමු කර එම මධ්‍යස්ථානයට ඇතුළුවන ස්ථානයේ ප්‍රදර්ශනය වන ලෙස එල්ලා තිබීමයි. හදිස්සියේ වෙනත් පොලිස් ඒකකයකින් එම මධ්‍යස්ථානය වටලන්නට පැමිණියහොත් ඔවුන් එම ඡායාරූපය දුටු විට පස් පාගන්නේවත් නැත. ඇත්ත යථාර්ථය එයයි. එපමණක්ද නොව එම මධ්‍යස්ථානය ඉදිරිපිට දිනපතා කළු පැහැති ඩිෆෙන්ඩර් රථයක් නතර කර තිබේ. එය ගණිකා මඩමේ හිමිකරුගේ වාහනයයි.

සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වාගෙන යන තවත් සුපිරි ගනිකා මඩමක් පිහිටා තිබෙන්නේ කොල්ලුපිටියේ කොරියන් ව්‍යාපාරිකයන් පිරිසක් විසින් මෙහෙයවනු ලබන ප්‍රසිද්ධම හෝටලයක් තුළයි. පැය එකහමාරක් සඳහා රුපියල් 8500ක් අය කරන එම සම්බාහන මධ්‍යස්ථානය තුළ සිදු කරන සම්බාහනය හඳුන්වන්නේ "බොඩි ටූ බොඩි" සම්බාහනය ලෙසයි.

රාගී හැඟීම් අවුස්සන එම ක්‍රමෝපාය මෙහි සඳහන් කිරීමට අසීරුය. එය සිදුකරනු ලබන්නේ සුරූපී තායි ළඳුන්ය. පිටකොටුවේ පේමන්ට් එකේ ලෑලිවලට මුවාවී හා හරස් වීදිවල කුසගිනි නිවාගන්නට නැතහොත් කුඩු පැකට් එක බොන්නට ඇඟපත විකුණන ගණිකාවන් හා ඔවුන් අතර වෙනස කුමක්ද?

පොලිසිය පන්න පන්නා හරස් වීදිවල ඔවුන් වටලද්දී, ලොකු හෝටලවල සුවඳ විළවුන් ඇඟ දවටාගත් ලොකු මහත්වරුන්ගේ ආශාවන් සංසිඳවන ප්‍රසිද්ධ ගණිකා මඩම් වටලන්නේ නැත්තේ ඇයි? එය එතරම් දුරදිග සිතිය යුතු කාරණාවක්ද නොවේ. මාසිකව සෑම සම්බාහන මධ්‍යස්ථානයකින්ම ලක්ෂ ගණනක මුදලක් නීතිය රකින්නන් හට ලැබෙන බවට ආරංචි සැලවී තිබේ. 

පොලිසියට ජරාව දීම ප්‍රතික්ෂේප කළහොත් සිදුවන්නේ එම සම්බාහන මධ්‍යස්ථානය සොයා වැටලීම් සිදුකිරීමයි. ඉන්පසුව පුවත්පත්වල සිරස්තල යන්නේ "සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මඩමක් වටලයි" යන්නයි. එසේ නම් පොලිසිය සිදුකරනු ලබන්නේ රෑ දනියෙල් දවල් මිගෙල් ප්‍රතිපත්තියක් නොවේද? බොහෝ සම්බාහන මධ්‍යස්ථානවල ලිංගික ක්‍රියාකාරකම් සිදුවන බව කාටත් රහසක් නොවේ. එසේනම් මෑතකදී පළාත් සභා මන්ත්‍රිවරයෙක් ප්‍රසිද්ධියේ කීවා සේ ගණිකා වෘත්තිය නීතිගත කළ යුතුය. නැතහොත් ස්පා, සම්බාහන මධ්‍යස්ථාන සියල්ල වසා දැමිය යුතුය. 

නැතහොත් යම්කිසි ප්‍රතිපත්තිමය රාමුවක් යටතේ ඒවා පත්වාගෙන යෑම සඳහා නීති පැනවිය යුතුය. උගුරට හොරා බෙහෙත් කන්නට යන වගකිව යුතු අදාළ බලධාරීන්ගේ ක්‍රියා කලාපයන් නිසා පොලිසිය විධිමත් කිරීමේ ආරක්ෂක ලේකම්තුමාගේ අවංක උත්සාහය උඩු සුළඟට ගසාගෙන යනු ඇත.

කතාව - කෝසල ප්‍රියංකර කදුරුවාන
මව්බිම පුවත්පත ඇසුරිනි