ආර්ථික සංවර්ධන උපාය මාර්ගය කැසිනෝ සූදුව බවට පත්වෙලා - Sunil Handunnetti

කැසිනෝ ජාවාරම්කරුවන් රටට ගෙනෙන්නේ කුමන පදනමකින්දැයි හෙළි කළ යුතුව ඇති බව ජ.වි.පෙ. මධ්‍යමකාරක සභික, පාර්ලිමේන්තු මන්තී‍්‍ර සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

හෙතෙම මේ බව කියා සිටියේ අද (27) කොළඹ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි. එහිදී ඔහු මෙසේද කියා සිටියේය.

මහින්ද රාජපක්ෂ පාලනය පදනම් වී තිබුණේ මහින්ද චින්තනය, මතට තිත, සූදුවෙන් තොර සදාචාර සම්පන්න රටක් ආදී තේමාවන්ය. නමුත් දැන් ලෝකයේ අංක එකේ කැසිනෝ රජා කොළඹ නගරයේ ප‍්‍රධාන ඉඩම් තුළ කැසිනෝ මාළිගාවක් ගොඩනගන්න යනවා. මේ රටට රජවරුන්ගෙන් අඩුවක් නැහැ. දැන් කැසිනෝ රජෙකුත් ලංකාවට එනවා. ජේම්ස් පැකර් ඔස්ටේ‍්‍රලියාවේ විශාලතම කැසිනෝ ව්‍යාපාරය හිමිකරුවායි. ඒ වගේම ඔහු දැවැන්ත ජාවාරම්වලින් මුදල් උපයන පුද්ගලයෙක්. ලංකාවේ ආර්ථික සංවර්ධන උපාය මාර්ගය දැන් කැසිනෝ සූදුව බවට පත්වෙලා.


ලේක්හවුස් වටරවුම අසල රථගාල තිබෙන ස්ථානය කැසිනෝ රජා වෙනුවෙන් ලබාදෙන්න යනවා. මේ ඉඩම ආසන්නයේම සිරි සම්බුද්ධ වාහාරස්ථානයත් පිහිටලා තිබෙනවා. සුදු පනත ගේන වෙලාවේ එම පනතට අපි විරුද්ධ වුණා. එම පනත සාධාරණීකරණය කරන්න පනතේ දාලා තිබුණා ජූජනීය ස්ථාන අසල කැසිනෝ ශාලා පවත්වාගෙන යන්නේ නැහැ කියලා. ඒත් දැන් මොකද වෙලා තිබෙන්නේ. ඒ සීමා බිඳදාලා ආණ්ඩුව ජාවාරම්කාරයින්ට අවශ්‍ය පරිදි සැලසුම් හදලා දෙනවා. කොළඹ නගරය වෙනස් කරමින් යන්නේ කැසිනෝ ජාවාරම්වලට ඉඩ හදලා දෙන්නයි. හෙට අනිද්දා "ආයුබෝ වේවා කැසිනෝ මහ රජානෙණි" කියලා සිංදු නිර්මාණය වෙන්නත් පුළුවන්.

එනිසා ආණ්ඩුව රටට හෙළි කළ යුතුයි මෙම කැසිනෝ ජාවාරම්කාරයින් රටට ගේන්නේ මොන පදනමකින්ද කියලා. කොළඹ නගරයේ වටිනාම බිම කොටස ලබාදෙන්නේ කුමන කොන්දේසි යටතේද කියලා. පාර්ලිමේන්තුවෙන් විමසන්නේ නැහැ. මහජන උපයෝගිතා කොමිසමෙන් අහන්නේ නැහැ. ආණ්ඩුව දේශපාලන බලය පාවිච්චි කරලා මේ දේවල් සිදුකරමින් ඉන්නවා. ආණ්ඩුව උත්සාහ දරමින් ඉන්නේ ජාත්‍යන්තර ජාවාරම් මධ්‍යස්ථානයක් බවට අපේ රට පත්කිරීමටයි.

ඒ වගේම දේශපේ‍්‍රමය ගැන, ජාතිමාමකත්වය ගැන, රටට ආදරය කරන එක ගැන කයිවාරු ගහන උදවිය මේ සම්බන්ධයෙන් මුනිවත රකින්නේ මොකද කියලා ගැටලූවක් තිබෙනවා. මෙය ආරම්භයක් පමණයි. ආණ්ඩුවේ සැලසුම තිබෙන්නේ ලංකාවේ සියලූම ප‍්‍රදේශවල කැසිනෝ මධ්‍යස්ථාන ගොඩනැගීමයි.

Gossip Lanka Hot News Previous News Archive