Pages

අන්තෝ ජටා බහි ජටා - Victor Ivan

අප සිදුවූ ඛේදජනක අත්දැකීම්වලින් ඉගෙන ගැනීමට කැමති නැති ජාතියක් ලෙස සැලකිය හැකිය. නැත්නම් සිදුවී තිබෙන දේවල් ඒවායින් පාඩම් ඉගෙන ගැනීමට තරම් වන හැඟීමක් ඇති කිරීමට තරම් විශාල හෝ ප‍්‍රමාණවත් වී නැත. සමහරවිට අපට පාඩම් ඉගෙන ගැනීමට වඩා විශාල විනාශයක් අවශ්‍ය වී තිබෙනවා විය හැකිය. වළක වැටීමත් මොළයට ලාබයක් බව කියා ඇත්තේ මා ඕ සේතුංය. එහෙත් වළක වැටීම මොළයට ලාබයක් වනු ඇත්තේද මොළේ ඇති මිනිසුන්ට පමණය.
රාජ්‍ය බලය අල්ලා ගැනීමේ අරමුණින් හෝ වෙනම රාජ්‍යයක් ඇති කරගැනීමේ අරමුණින් සිදුවූ ප‍්‍රචණ්ඩ නැගිටීම් හා ඒවා මර්දනයේදී සිදුවී ඇති ජීවිත විනාශය ලක්ෂයකටත් වැඩිය. රටේ ජනගහනයේ ප‍්‍රමාණය අනුව ගත් විට එම සංඛ්‍යාව ඉතා විශාල වුවද ඒ මරණ අපේ සමාජ අධ්‍යාත්මය බලවත් කම්පනයකට පත්කිරීමට හේතු වූ බවක් පෙනෙන්නට නැත. මරණයට පත්වූ අයගේ දෙමාපියන් හා අඹුදරුවන් පවා එය ඉක්මනින් අමතක කර දැමූ බවක් පෙනෙන්නට තිබේ.

ප‍්‍රචණ්ඩ නැගිටීම් ඇතිවූ වෙනත් රටවල් සමග ගත්විට අපේ රටේ තරම් විශාල දේශපාලන නායකයන් සංඛ්‍යාවක් මරණයට පත්වූ වෙනත් රටක් නැති බව කියා සිටියේ වැවිලිකරුවකු විසිනි. ඔහුට ඒ බව කියා තිබුණේ ශ‍්‍රී ලංකාවේ ඇතිවූ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා ගැන හදාරමින් සිටින විදේශ සමාජ විද්‍යාඥයකු විසිනි. ඒ පැත්තෙන් ප‍්‍රශ්නයේ ඇති බැරෑරුම්කම මට තේරුම් ගියේද ඒ අවස්ථාවේදීය. දේශපාලන තලයේ වර්තමානයේ දක්නට ලැබෙන කාන්තාර තත්ත්වය තීව‍්‍ර කිරීමට එයද හේතුවූවා විය යුතුය. එහෙත් ඒ කිසිවක් සාමාන්‍ය වශයෙන් ගත්විට ශ‍්‍රී ලංකා සමාජයේ හෝ විශේෂ වශයෙන් ගත් කල අපේ දේශපාලකයන්ගේ, උගතුන්ගේ, වෘත්තීය වේදීන්ගේ හෝ කලාකරුවන්ගේ හදවත් බලවත් ලෙස කම්පනයට පත්කිරීමට හෝ ඒ ආශ‍්‍රයෙන් ඔවුන් බුද්ධිමය වශයෙන් කරුණු සොයා බලන තැනකට තල්ලූ කිරීමට හේතුවූ බවක් පෙනෙන්නට නැත.


සයිමන් නවගත්තේගම

එම දැවැන්ත සිද්ධීන් අපේ නිර්මාණ සාහිත්‍යය කෙරෙහි ඇතිකර තිබෙන බලපෑමද ඉතාමත් අල්ප වනවා සේ ම ව්‍යාජ වේයැ’යි ද කිව හැකිය. ජේවීපී කැරැල්ල උච්චතම තත්ත්වයක පැවති කාලයේදී අපේ රටේ බිහිවූ සුවිශේෂ ගණයේ කලාකරුවකු ලෙස සැලකිය හැකි සයිමන් නවගත්තේගම සමග සමීප ඇසුරක් පවත්වාගෙනයෑමේ භාග්‍ය මට හිමිවිය. ඔහු එම කැරැල්ලට ආදරය කළේය. ඒ සමග කැරලිකරුවන් විසින් තමා මරා දමනු ඇතැ’යි කියන බියද ඔහු සිත තුළ රජ කළේය. ඔහු ‘සාපේක්ෂණී’ ලීවේ එම පරස්පර විරෝධී ප‍්‍රවේශයන් දෙකට හිරවී සිටි කාලවකවානුවකදීය. කැරලිකරුවන් ඇඳිරි නීතිය පනවන ලද බොහෝ දිනවල ඔහු මා නැවතුම් ගෙන සිටි කාමරයට ආවේය. එවැනි දවස්වල දවස ගෙවුණේ අප දෙදෙනා අතර විවිධ දේ ගැන කෙරෙන කතාබහෙනි. එහිදී සිදුවූ කතාබහ සටහන් කරන තැනකට ගියේ නම් එය රසවත් පොතක් වන්නට ඉඩ තිබුණි. මා ඔහුගෙන් බොහෝ දේවල් ගැන ප‍්‍රශ්න කළ අතර ඒ ප‍්‍රශ්නවලට ඔහු අවංක ලෙස පිළිතුරු දුන්නේයැ’යිද කිව හැකිය. මා විසින් අසන ලද සමහර ප‍්‍රශ්න කෙනෙකුගෙන් නොඇසිය යුතු තරමේ පෞද්ගලික ඒවා වූ අතර එවැනි ප‍්‍රශ්නවලට පවා ඔහු අවංකව උත්තර දුන්නේය. එහිදී අප සාකච්ඡාවට ලක්කරන ලද දේවල් අතර අදට වැදගත් වන දේවල් ද තිබුණි. ලංකාවේ චින්තනයේ දුප්පත්කම හා ඒ කෙරෙහි බලපා තිබෙන හේතු ඒ අතර ප‍්‍රධාන විය. දකුණෙත් උතුරෙත් සිදුවන කැරලි අපේ නිර්මාණ සාහිත්‍යය කෙරෙහි කවර බලපෑමක් ඇති කරනු ඇතිද යන ප‍්‍රශ්නයද සාකච්ඡාවට ලක්වූ තවත් වැදගත් මාතෘකාවක් විය. මගේ මතය වූයේ රටේ ඇතිවූ මහා සිද්ධීන් අපේ නිර්මාණ සාහිත්‍යය ප‍්‍රමාණවත් තරමින් පෝෂණය කිරීමට හේතුවී නැති බවය. නැතිනම් එම සිද්ධීන් අපේ නිර්මාණ සාහිත්‍යය කෙරෙහි බලපා තිබුණේ බාහිර වශයෙන් මිස අභ්‍යන්තරික වශයෙන් නොවන බවය.

එදිරිවීර සරච්චන්ද්‍ර

මේ කාලයේදීම මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් නිරත වී සිටි කාර්යයක ඔහුගේ ප‍්‍රධාන සහායකයා ලෙස ක‍්‍රියාකිරීමේ භාග්‍යය මට හිමිවිය. ලංකාව මුහුණ දී තිබුණු අර්බුදය ගැන ඔහු විසින් හා වෙනත් අය ලවා ලියවන ලද ලිපි එකතුවක් ඔහුගේ සංස්කාරකත්වයෙන් පොතක් වශයෙන් පළකිරීම සඳහා ක‍්‍රියාකරමින් සිටියේය. ඔහුගේ සහායකයා ලෙස වැඩ කරන අතර ඔහු සමග ප‍්‍රබෝධමත් සංවාදයක නිරතවීමේ අවස්ථාව ඒ නිසා මට ලැබුණි. එහිදීද රටේ අර්බුදය අව්‍යාජ ලෙස ග‍්‍රහණය කරගැනීමට සාහිත්‍ය කරුවන් සමත්වීද යන ප‍්‍රශ්නය සාකච්ඡාවට ලක්විය. ‘හෙට එච්චර කළුවර නෑ’ යන හිසින් ඔහු ලියන ලද කතාවේ එන භාෂාව ගීතයක් මෙන් රසවත් වුවත් 71 කැරැල්ල එම කතාවට බාහිර වශයෙන් ආරෝපණය කර තිබෙන දෙයක් වනවා මිස කැරැල්ල ඊට අව්‍යාජ ලෙස බලපා නැති බව මා කී විට මගේ මතය නිවැරදි බව ඔහු පිළිගත්තේය.

සුගතපාල ද සිල්වාගේ පිළිතුර

ජේවීපී දෙවැනි කැරැල්ල අවසන්වීමෙන් පසු නාමධාරී කලාකරුවන් පිරිසකගේ සහභාගිත්වයෙන් කොළඹ මහජන පුස්තකාල ශාලාවේ පවත්වන ලද සංවාදයකදී මම එම ප‍්‍රශ්නය එම සභාව වෙත යොමු කළෙමි. සිංහල දකුණේ හා දෙමළ උතුරේ ඇතිවූ කැරලි කලාකරුවන්ගේ නිර්මාණ කෙරෙහි ගැඹුරු බලපෑමක් ඇති කිරීමට හේතුවී නැත්තේ ඇයිද යන්න මා විසින් නගන ලද ප‍්‍රශ්නය විය. මේ මෑතකදී එම මාතෘකාව ගැනම කෙරෙන කතාබහකදී ධර්මසිරි බණ්ඩාරනායක කීවේ පුස්තකාල ශාලාවේ පැවති රැස්වීමට තමාද සහභාගි වූ බවත් මා නගන ලද ප‍්‍රශ්නය ඒ අවස්ථාවේදී ඔහු තුළද කම්පනයක් ඇති කිරීමට හේතුවූ බවත්ය. මාගේ ප‍්‍රශ්නයට පිළිතුරු දුන්නේ සභාවේ මුලසුන හෙබවූ සුගතපාල ද සිල්වාය. ඔහු ඊට දුන් පිළිතුර වූයේ එවැනි මහා සිදුවීම් වහාම නොව කාලයාගේ ඇවෑමෙන් අපේ නිර්මාණ සාහිත්‍යය කෙරෙහි බලපානු ඇති බවය. ඒ පිළිතුර මගේ සංතෝෂයට හේතු නොවීය. මාගේ අතෘප්තිය ප‍්‍රකාශ කරමින් මා පෙරලා කීවේ වෙනත් බොහෝ රටවල කලාකරුවන් ඒවා ග‍්‍රහණය කොට ගෙන තිබෙන්නේ අමු අමුවේම මිස දේවල් සිදුවී බොහෝ කාලයකට පසු නොවන බවය.

ගුණදාස අමරසේකර

ශ‍්‍රී ලංකාවේ සියලූ කලාකරුවන් අතරින් ජාතික දෘෂ්ටියක අවශ්‍යතාව ගැන බලවත් ලෙස පෙනී සිටි ඒ වෙනුවෙන් තමන්ගේ සම්පූර්ණ කාලයම කැප කළ පුද්ගලයා ලෙස සැලකිය හැක්කේ ගුණදාස අමරසේකරය. එහෙත් එහිදී ඔහු අපට නිර්දේශ කරන රාමුව ඉතාමත් පටුය. ඔහු එහිදී සිය පරමාදර්ශී වීරයා බවට පත්කර ගෙන ඇත්තේ අනගාරික ධර්මපාලය. අනගාරික ධර්මපාල එක ඓතිහාසික යුගයක ලංකාවේ විසූ ප‍්‍රතාපවත්ම සිංහලයා වන බවට සැකයක් නැත. ඔහුට තිබුණේ ලංකාව මුහුණ දී තිබුණු ගැටලූ ලිහා ගැනීමට හේතුවන දියුණු චින්තනයක් නොව තිබෙන ගැටලූ අවුල් කිරීමට හේතුවන පසුගාමී චින්තනයකි. එම චින්තනය තුළ සිංහල බෞද්ධයන්ට මිස අන් කවර වර්ගයකටවත් තැනක් නොතිබුණි. ඔහු සිංහල බෞද්ධයන් අතර තිබෙන නොයෙකුත් වැරදි හා අඩුපාඩුකම් දැක්කේය. එහෙත් සිංහල බෞද්ධයන් බෙදා වෙන් කිරීමට හේතුවී තිබුණු කුලභේදය ඉවසුවේය. පසුව ඇතිවන වර්ගවාදී ගැටුම් කෙරෙහි පමණක් නොව ඔහුගේ කාලයේ ඇතිවන වර්ගවාදී ගැටුම් කෙරෙහිද ඔහුගේ වර්ගවාදී අදහස් බලපෑවේය.

ගුණදාස අමරසේකර යනු ලංකාවේ හොඳම නවකතාකරුවන් හා කවීන් කිහිපදෙනාගෙන් කෙනෙකි. එවැනි පුද්ගලයකු ධර්මපාලගේ වර්ගවාදී චින්තනයේ හිරකාරයකු බවට පත්වීමෙන් නොනැවතී එම චින්තනය ජාතියේ චින්තනය බවට පත්කිරීමට වෙර දරන විට එය රටේ නිර්මාණ සාහිත්‍යකරුවන් පිළිබඳව ලබාදෙන සංඥාව යහපත් නැත. ඔහුද අඩුම වශයෙන් සියලූ සිංහල බෞද්ධයන් සමාන අයිතිවාසිකම් ඇති පිරිසක් ලෙස සලකන බවක්ද පෙනෙන්නට නැත. ඔහුගේ සමහර පොත් කියවන විට පෙනී යනුයේ සිංහල කුල ධුරාවලිය විසින් පීඩිත තත්ත්වයක් ලබාදී තිබෙන කුල කෙරෙහි ගොවිගම වංශාධිපතියකු තුළ තිබෙන අවමන්සහගත හැඟීම් ඔහු තුළද පවත්නා බවය. මට පෙනෙන අන්දමට නිර්මාණ සාහිත්‍යකරුවන් අතරින් ඉදිරිගාමී ප‍්‍රගතිශීලී චින්තනයකට වටාපිටාව සකස් කළ සාහිත්‍යකරුවන් ලෙස සැලකිය හැක්කේ කුමරතුංග මුනිදාස හා මාර්ටින් වික‍්‍රමසිංහය. එම දෙදෙනාගේ ප‍්‍රවේශයන් සමග ගත් විට ගුණදාස අමරසේකරගේ ප‍්‍රවේශය ඉතාමත් පසුගාමී හා ප‍්‍රතිගාමීවේයැ’යි කිව හැකිය.

විජේවීර හා ප‍්‍රභාකරන්

මගේ උනන්දුවට හේතුවූ සමාජ ගැටලූවක් මෙසේ සාරාංශ ගත කළ හැකිය. විජේවීර වර්ගයෙන් සිංහලය. ආගමෙන් බෞද්ධය. ප‍්‍රභාකරන් වර්ගයෙන් දෙමළය. ආගමෙන් හින්දුය. දෙදෙනාම කුලයෙන් එක සමානය. විජේවීර සිංහල කරාව කුලයටද, ප‍්‍රභාකරන් දෙමළ කරයාර් කුලයටද අයත් විය. විජේවීර තුළ ගොවිගම විරෝධයක් තිබුණු අතර ප‍්‍රභාකරන් තුළද වෙල්ලාල විරෝධයක් තිබුණි. දෙදෙනාම බලය හිමිකර ගැනීමේ අරමුණ සඳහා තෝරාගත්තේ සන්නද්ධ අරගල මාර්ගයයි. දෙදෙනාගේම දේශපාලන ව්‍යාපාරවල මුදුනත කුලය අනුව ගත්විට කරාව වනවිට දෙදෙනාගේම ව්‍යාපාරවල පාද සෙබළුන් වශයෙන් ක‍්‍රියාකළ වැඩි පිරිසක් පීඩිත කුලවලට අයත් තරුණ තරුණියෝ වූහ. මෙම පීඩිත කුල මිශ‍්‍රණය ප‍්‍රධාන ධාරාවේ සිංහල හෝ දෙමළ වෙනත් දේශපාලන පක්ෂවල දක්නට නොතිබුණු ලක්ෂණයකි. විජේවීරගේ ව්‍යාපාරය වැඩි වේගයකින් පැතිර ගියේ ගොවිගම නොවන ගම්වලය. ප‍්‍රභාකරන්ගේ ව්‍යාපාරය වැඩි වේගයකින් පැතිර ගියේද වෙල්ලාල නොවන ගම්වලය. එහෙත් දෙදෙනාම ප‍්‍රසිද්ධියේ කුලභේදය ගැන කතා නොකළෝය. කුලභේදය අහෝසි කිරීමේ අවශ්‍යතාව ගැනද කතා නොකළෝය. ඒවා කෙරෙන් එවැනි පෙළගැස්මක් හා හැඩගැසීමක් ප‍්‍රකාශ වූයේ ඇයි?

නාකියාදෙණිය හා යාපනේ

ජේවීපී දෙවැනි කැරැල්ලේදීද මට ගාල්ලේ නාකියාදෙණිය ප‍්‍රදේශයෙන් අසන්නට ලැබුණු කතාවක් මෙසේය.

මුහුණු ආවරණය කරගත් ආයුධ සන්නද්ධ තරුණයෝ තිදෙනෙක් ගිනි අවියක් ලබාගැනීම පිණිස හෝ වෙනත් එවැනි දෙයක් වෙනුවෙන් රාත‍්‍රී කාලයේදී එක් නිවසකට ගියෝය. නිවසේ සිටි අය දොර විවෘත කළ පසු මුහුණු ආවරණය කරගත් ආයුධ සන්නද්ධ තරුණයන් තිදෙනා දැක භීතියට පත්වූහ. එහෙත් එහිදී සිදු කෙරුණු කතාබහ අතරතුරදී එක් තරුණයකු පැළඳගෙන සිටි මුහුණු ආවරණය ගැලවී නිවසේ සිටි අය තරුණයා හඳුනාගත්තෝය. ඒ සමග ගෙහිමියා තුළ පැවති බිය පහවී ඔවුන් වෙත කෝපයෙන් කඩා පැන්න අතර ආයුධ අත ඇතිව සිටි තරුණයෝ තිදෙනාද බියට පත්වී ඒ ස්ථානය අතහැර පලා ගියෝය.

මෙම කතාව කී පුද්ගලයා මට කීවේ මුහුණු ආවරණය කඩා වැටීමෙන් වංශවත් ගෙහිමියා එම තරුණයාගේ කුලය හඳුනාගත් බවත් ඒ සමග ඔහුගේ කුලමානය ඉස්මතුවී ඇති කරගෙන තිබූ බිය පහවී ඔහු ඔවුන් වෙත කෝපයෙන් කඩාපැන්න බවත් ඒ සමග තරුණයන් තිදෙනා අත ආයුධ තිබුණද ඔවුන් තුළද හුරුපුරුදු බයපක්ෂපාතීභාවය පහළ වී එම ස්ථානයෙන් පලා ගිය බවත්ය.

යාපනේ දෙමළ කෙනකුගෙන් අසන්නට ලැබුණු තවත් කතාවක් මෙසේය. මේ සිද්ධිය සිදුවී තිබෙන්නේ අනෙකුත් ප‍්‍රතිසංවිධානවල බලය යටපත් කොටගෙන එල්ටීටීඊ යාපනේ ඉස්මතුවෙමින් තිබූ කාලයේදීය. එල්ටීටීඊයට එකතු වී සිටි එම ගම් ප‍්‍රදේශයේම පීඩිත කුලයකට අයත් තරුණයකු එල්ටීටීඊය පනවන ලද නියෝගයක් දැනුම්දීම සඳහා නිල ඇඳුමින් සැරසී ගිනි අවියක්ද අත ඇතිව වංශවත් පුද්ගලයකුගේ නිවසට ඇතුළු වී තිබේ. ඔහුගේ දර්ශනයෙන් කෝපයට පත් වංශවතා අපට නියෝග පනවන්න උඹ කව්දැයි අසමින් ඔහුට පහර දී තිබෙන අතර ඒ සමග ආයුධ අත ඇතිව සිටි තරුණයා එම ස්ථානයෙන් වහා පලා ගොස් තිබේ. ඉන්පසු එල්ටීටීඊ කණ්ඩායමක් පැමිණ වංශවතා රැගෙන ගොස් තිබුණ අතර ඔහු නිදහස් කරවා ගැනීම පිණිස ක‍්‍රිස්තියානි පූජකයකු මැදිහත් වී එල්ටීටීඊය සමග සාකච්ඡා කර තිබේ. ඔහු පසුව නිදහස් කරන බවට එල්ටීටීඊ ප‍්‍රාදේශීය නායකයා පූජකයාට සහතික වී ඇතත් පසුදින හිමිදිරියේ ලාම්පු කණුවක බැඳ වෙඩි තබා මරා දමන ලද වංශවතාගේ සිරුර හමුවී තිබේ.

එල්ටීටීඊ දණ්ඩ නීති සංග‍්‍රහය

මා යාපනේ ගිය අවස්ථාවකදී එල්ටීටීඊය තමන්ගේම දණ්ඩ නීති සංග‍්‍රහයක් ප‍්‍රකාශ කර තිබෙන බව දැනගන්නට ලැබී එහි පිටපතක් සොයා ගත්තෙමි. සිහිවටනයක් වශයෙන් එය අදටත් මා ළඟ තිබෙන්නේය. ඔවුන්ගේ දණ්ඩ නීති සංග‍්‍රහය මුද්‍රණය කර තිබුණේ දෙමළෙනි. ඒ නිසා එය කියවීමේ හැකියාවක් මට නොතිබුණි. එහෙත් එහි විශේෂ දෙයක් වී නම් එය කුමක්ද කියා දැනගැනීමේ කුතුහලයක් තිබුණි. මා එය මාගේ හිතවත් දෙමළ නීතිඥයකුට දී එය කියවා බලා විශේෂ දෙයක් ඇත්නම් එය මට පැහැදිලි කරදෙන ලෙස ඉල්ලා සිටියෙමි. ඉන්පසු ඔහුගෙන් දැනගන්නට ලැබුණු දේ ඉතාමත් අපූරුය. ඔහුට අනුව එය අපේ දණ්ඩ නීති සංග‍්‍රහයේම කාබන් කොපියක් විය. එහෙත් අපේ දණ්ඩ නීති සංග‍්‍රහයට ඇතුළත් නැති විශේෂ අංග දෙකක් ඊට ඇතුළත් බව ඔහු කීවේය. එනම් පීඩිත කුල සම්බන්ධයෙන් සිදුවන අවමන්සහගත සැලකිලි සම්බන්ධ වැරදිවලදී දියයුතු දඬුවම් ගැන හා දෑවැද්දට එරෙහිව පනවා තිබෙන විධි විධානයන්ය.

මා මීට පෙර නිදහස පිළිබඳව ලියන ලද ලිපියක් කියවා ඊට ප‍්‍රතිචාර දක්වන්නට මට කතා කළ විටින් විට මට දුරකතනයෙන් කතා කරන විශ‍්‍රාමලත් උසස් රාජ්‍ය නිලධාරියකු ඊට පෙර දින ඔහුට අසන්නට ලැබුණු අපූරු කතාවක් මට කීවේය. එම කතාව ඔහුට කියූ පුද්ගලයා එයාර් සිලෝන් ආයතනයේ ආරම්භක ගුවන් නියමුවන් තිදෙනාගෙන් කෙනෙකි. දැන් ඔහුගේ වයස අවුරුදු 86කි. ඔහු සිය සහෝදරිය බලන්නට නුවර යන එන ගමන්වලදී මට කතා කළ විශ‍්‍රාමලත් රාජ්‍ය නිලධාරියාද සිරිතක් වශයෙන් හමුවන්නේය. ඒ කාලයේ ගුවන් මගීන්ට ගුවන්යානයේ කාර්ය මණ්ඩලය ගැන ශබ්ද විකාශන යන්ත‍්‍ර මගින් දැනුම්දෙන ක‍්‍රමයක් තිබී නැත. ඒ වෙනුවට සිදුවී තිබෙන්නේ කාර්ය මණ්ඩලයේ නම් හා ඔවුන්ගේ වගකීම් විස්තර කෙරෙන මුද්‍රිත කොළයක් ගුවන්යානයේ ගමන් ගන්නා මගීන් වෙත ලබාදීමය. මෙම සිද්ධිය සිදුවී ඇත්තේ මදුරාසිය බලා යන ගමනකදීය. මගින් අතර එස්.ජේ.වී. චෙල්වනායගම්ද ඉඳ ඇත. කාර්ය මණ්ඩලයේ නම් ඇතුළත් කොළය චෙල්වනායගම්ගේ අතට පත්වීමෙන් පසුව එය කියවා තමන්ට ගුවන් නියමුවා හමුවීමට අවශ්‍ය බව දැනුම්දී තිබේ. ගුවන් නියමුවා හමුවූ විට චෙල්වනායගම් එම කොළේ තිබූ දෙමළ කාන්තාවකගේ නමක් පෙන්වා එවැනි කෙනෙකු විසින් කරනු ලබන සංග‍්‍රහයන් තමන්ට භාරගත නොහැකි බව ගුවන් නියමුවාට දැනුම් දී තිබේ. දෙමළ ජනයාගේ නිදහස වෙනුවෙන් බලවත් ලෙස පෙනී සිටි චෙල්වනායගම් තුළ පවා කුලය පිළිබඳ විෂයේදී අගතිගාමී ආකල්පයක් තිබූ බව ඉන් පෙනී යයි. මෙම ලක්ෂණය පොන්නම්බලම් සොහො යුරන් දෙදෙනාටද (රාමනාදන්ට හා අරුණාචලම්ට) තිබුණේය.

71 කැරැල්ලේදී අත්අඩංගුවට ගන්නා ලද ගොවිගම සැකකරුවන්ට හා ගොවිගම නොවන සැකකරුවන්ට ක‍්‍රම දෙකකට සලකන ලද අවස්ථා තිබුණි. සමහර උසස් නිලධාරීන් එම කැරැල්ල හඳුනාගෙන තිබුණේ පහත්කොට සැලකෙන කුලවලට අයත් තරුණයන්ගේ නැගිටීමක් ලෙසය. ඒ නිසා සිංහල කුල ධුරාවලියේ ආන්තික තත්ත්වයක සිටින කුලවලට තරුණයන් සම්බන්ධයෙන් ඔවුන් අනුගමනය කරන ලද ප‍්‍රතිපත්තියද අවඥාසහගත විය. 71 කැරැල්ලේ සිරකරුවන් පුරවා දියයුතු පෝරමයකට ඔබ අයත් කුලය කුමක්ද යන ප‍්‍රශ්නයද ඇතුළත්ව තිබුණි.

ප‍්‍රභාකරන්ගේ කැරැල්ල අර්ථකථනය කැරෙන්නේ දෙමළ දුක්ගැනවිලි ආශ‍්‍රයෙන් ඇතිවූ වාර්ගික කැරැල්ලක් ලෙසය. එහෙත් විජේවීරගේ කැරැල්ල ප‍්‍රභාකරන්ගේ කැරැුල්ලට වෙනස් වන්නේ වර්ගයෙන් පමණය. අන් බොහෝ දේ එක සමානය. මෙම අර්බුදයට ආවේණික සංකීර්ණතාවද එය වේ. මෙම අර්බුදය පාදක කොටගෙන බිහිවී තිබෙන නිර්මාණවල දක්නට නැත්තේද එයමය.

මා පෙන්වා දෙන්නට උත්සාහ කරන්නේ වර්ගය, ආගම, පන්තිය යන සාධක පමණක් නොව බොහෝ දෙනකු දැන් අවලංගු වී ඇතැ’යි සිතන කුල සාධකයද පුපුරනසුලූ අවුල් ඇති කිරීම කෙරෙහි බලපා තිබෙන බවය. කුලභේදය බලපා නැති විශාල සමාජයක්ද රටේ සිටින්නේය. එහෙත් කුලභේදය බලපා තිබෙන සමාජය සිටින්නේ අතෘප්තියෙනි. එවැනි අය තමන්ට තිබෙන දෙවැනි පෙළේ පිළිගැනීම නැතිකර ගනිමින් ජාතියේ වීරයන් ලෙස මතුවීම සඳහා නැති ප‍්‍රශ්න ඇති කරති. එය සංඝ සමාජය කෙරෙහිද පීඩාකාරී ලෙස බලපා තිබෙන බව දැකිය හැකිය. විවිධ කාලවලදී මතුවන පෙරළිකාර භික්ෂු ව්‍යාපාර කෙරෙහි කුල සාධකය තදින් බලපා තිබෙන බවද දැකිය හැකිය.

රණසිංහ පේ‍්‍රමදාස

මෙම අවුල අප විසඳා ගත යුතුව තිබුණේ නිදහස ලබාගැනීම සඳහා උද්ඝෝෂණය කරන කාලයේදී හෝ නිදහස ලැබීමත් සමගය. කුලභේදය පැරණි වැඩවසම් සමාජයේ පැවැත්මට අවශ්‍ය වුවත් නූතන සමාජයට කුලභේදයක් අවශ්‍ය නැත. එය සිංහල සමාජයේ සියලූ සිංහලයන් සේ ම දෙමළ සමාජයේ සියලූ දමිළයන්ද එක සමාන නොවන හා ඔවුන් අතර උස් පහත් භේදයක් ඇති කිරීමට හේතුවී තිබේ. සිංහල සමාජයේ හා දෙමළ සමාජයේ ගොවිගම හා වෙල්ලාල ගණයට වැටෙන ජනගහනයේ ප‍්‍රමාණය බහුතර තත්ත්වයක් හිමි කරගෙන සිටීම නිසා ගොවිගම හෝ වෙල්ලාල නොවන සමාජ කණ්ඩායම් වලට ප‍්‍රතිසංස්කරණ දිනාගැනීමටද දුෂ්කර දෙයක් බවට පත්වී තිබේ. විජේවීර හා ප‍්‍රභාකරන් ආයුධ සන්නද්ධ මාවතක් තෝරා ගැනීම කෙරෙහිද ඒ තත්ත්වය බලපෑවා විය හැකිය. විශාල ලේ වැගිරීම් ඇතිවීමෙන් පසුත් ප‍්‍රතිසංස්කරණ ඇති නොවීම කෙරෙහිද පාලකයන්ගේ ගොවිගම පසුබිම හා කුල ප‍්‍රශ්නය කෙරෙහි ඔවුන් අතර තිබෙන අවඥාසහගත ආකල්පය බලපා තිබෙනවා විය හැකිය. ගොවිගම නොවන පසුබිමකින් පැමිණි එකම පාලකයා ජනාධිපති රණසිංහ පේ‍්‍රමදාස පමණය. දකුණේත් උතුරේත් තරුණ කැරලි කෙරෙහි බලපා තිබෙන කුල සාධකය ගැන පීඩිත කුල පසුබිමකින් පැමිණි ඔහුට කිසියම් වැටහීමක් තිබුණි. ජේවීපී දෙවැනි කැරැල්ල පරාජය කිරීමෙන් පසු තරුණ අසහනය කෙරෙහි බලපා තිබෙන හේතුසාධක ගැන සොයා බලා වාර්තා කරන්නට ඔහු ජනාධිපති කොමිසමක් පත් කළේය. කොමිසමේ සොයා ගැනීම් හා කොමිසම ඉදිරිපත් කරන ලද නිර්දේශ සමහර සීමිතකම් තිබියදීත් ඉතාමත් ඉදිරිගාමී හා විප්ලවකාරීවීයැ’යි කිව හැකිය. කොමිසමේ නිර්දේශ ක‍්‍රියාත්මක කරන්නට ඇත්ත වුවමනාවක් පේ‍්‍රමදාස ජනාධිපතිවරයාට තිබුණේය. ඒ සඳහා අවශ්‍ය පියවරද ඔහු ගනිමින් තිබුණේය. එහෙත් ඔහුට එරෙහිව ඉදිරිපත්වූ දෝෂාභියෝගයත් සමග ඔහු ඉදිරියට තබන ලද අඩිය ආපස්සට ගත්තේය.

හඬමුද සිනාසෙමුද?

මහා පරිමාණයේ සිංහල හා දෙමළ තරුණ කැරලි දෙකක් පරාජය කිරීමට හැකිවීම ගැන අප සතුටුවිය යුතුය. ජේවීපී කැරැල්ල පරාජය කරන්නට අසමත් වී නම් කිසිසේත්ම එල්ටීටීඊ කැරැල්ල පරාජය කරන්නට සමත්වන්නේ නැත. අනෙක් අතට මේ දෙපිරිස අන්‍යෙන්‍ය සහයෝගයෙන් ක‍්‍රියාකරන තත්ත්වයට ගියේ නම් මුළු රටම වඩා විශාල අවුල් ජාලයකට තල්ලූවන්නට ඉඩ තිබුණි. කැරලි දෙක වෙන් වෙන්ව හෝ එක්ව ජයගත්තේ නම් වඩා හොඳ ශ‍්‍රී ලංකාවක් ලැබෙන්නට ඉඩ තිබුණේද නැත. එසේ වී නම් අපට ලැබෙන ශ‍්‍රී ලංකාව මීටත් වඩා සාහසික ශ‍්‍රී ලංකාවක් වන්නට ඉඩ තිබුණි. ඒ අර්ථයෙන් ඒ කැරලිවලට අපට කෙබඳු බැඳීම් තිබුණද ඒ කැරලි පරාජය කිරීමට හැකිවීම ගැන පළමුවෙන්ම සතුටු විය යුතුය. ඒ සමග ඒ කැරලි ඉබේ අහසින් කඩා වැටුණු ඒවා නොවන බව හා සිංහල දෙමළ තරුණයන් යක්ෂාවේශවී ක‍්‍රියාකරන තත්ත්වයකට පොළඹවන සාධාරණ හේතු තිබුණු බව තේරුම් ගනිමින් හා කැරලි මර්දනයෙන් මියගිය හැම කෙනෙකුම අපේ රටේ අපේම දූ දරුවන් බව තේරුම් ගනිමින් ඔවුන්ගේ මරණයන් ගැන කනගාටු වන අතර නැවත එවැනි අවාසනාවන්ත දේවල් ඇතිවීමට ඉඩ නොතැබීම පිණිස අවශ්‍ය වෙනස්කම් දිනාගැනීම සඳහා අදිටන් කරගත යුතුය.

ජේවීපී කැරැල්ල පරජය කිරීමෙන් පසුව තවදුරටත් එල්ටීටීඊ කැරැල්ලක් ඉතිරි වී තිබීම නිසා දේශපාලන ක‍්‍රමයේ හා සමාජ ක‍්‍රමයේ මූලික වෙනසක් ඇති කිරීමේ හැකියාව නොතිබුණේය. එම මූලික වෙනස්කම් ඇති කිරීම සඳහා වන ඓතිහාසික අවස්ථාව එළැඹෙන්නේ එල්ටීටීඊ කැරැල්ල පරාජය කිරීමත් සමගය. එහෙත් රටේ අවාසනාවකට ජයග‍්‍රාහකයාට තිබුණේ එල්ටීටීඊය පරාජය කිරීමට සීමාවූ පටු දැක්මක් හා අධිෂ්ඨානයක් පමණය. අවුල් ජාලාවක් බවට පත්ව තිබූ සමාජය ඒකාග‍්‍ර කිරීමේ එනම් සිංහල හා දෙමළ සමාජවලත්, සංඝ සමාජයේත් කුලභේදයට තිබෙන පිළිගැනීම අහෝසි කොට වර්ග හා ආගම් අනුව බෙදී සිටි ජාතිය එක්සත් කොට මජර ගලන තරමට කුණුවී තිබුණු දේශපාලන ක‍්‍රමය වෙනස් කොට මහජනයාට රාජ්‍යයේ පරමාධිපත්‍යය ලබාදෙන නව දේශපාලන ක‍්‍රමයක් ඇති කරගැනීමේ ඉදිරි දැක්මක් නොතිබුණේය. ඒ වෙනුවට තිබුණේ ජයග‍්‍රහණයේ බලය සිය බලය වර්ධනය කරගැනීම සඳහා යොදාගත යුතුයි කියන ආත්මාර්ථකාමී ආශාවක් පමණය. ජයග‍්‍රහණයෙන් උදම් වී සිටි සිංහල සමාජයටද ඒ සඳහා වන යහපත් ඉදිරි දැක්මක් නොතිබුණේය. එය ශ‍්‍රී ලංකා සමාජය මුහුණ දී තිබෙන චින්තනයේ දුප්පත්කම ප‍්‍රදර්ශනය කළ තවත් වැදගත් අවස්ථාවකි. සිදුවීම් වේගයෙන් ඉදිරියට ගමන් ගන්නා විට සමාජ සවිඥානිකත්වය තිබුණේ එකතැන පල්වෙන තත්ත්වයකය.

එහි ප‍්‍රතිඵලයක් වශයෙන් දැන් අප ඉන්නේ ප‍්‍රභාකරන්ගේ කැරැල්ල කාලයේ තිබූ අවුල්සහගත තත්ත්වයටත් වඩා විශාල අවුල්සහගත තත්ත්වයකය. අන්තෝ ජටා බහි ජටා තත්ත්වයකය. ඇතුළත් පිටතත් හැම තැනක්මත් අවුල් කරගත් තත්ත්වයකය. වර්ධනය වෙමින් තිබෙන අර්ථය තිබුණු අර්බුදයටත් වඩා විස්තීර්ණ අර්බුදයක් වන අතර ඒ මගින් මහා විනාශයක් ඇතිවීම වැළකිය නොහැකි අනිවාර්යයක් බවට පත්වී ඇතැ’යි කිව හැකිය. මේ මොහොතේ සිහි මොළේ ඇති අයට කළහැක්කේ ඇතිවන්නට යන විනාශය කල් තියා තේරුම් ගනිමින් සිදුවිය හැකි හානිය අවම කරගැනීම සඳහා ක‍්‍රියාකිරීම පමණය. පැරණි යුගය අවසන් වී අලූත් නව යුගයක් ආරම්භ වනු ඇත්තේ සිදුවන්නට යන එම විනාශය හරහාය.

වික්ටර් අයිවන් ( Rawaya- March 31, 2013)