ජාතික හා ජාත්‍යන්තර වශයෙන් රාජපක්ෂ ආණ්ඩුව වගකීම් පැහැර ඇති හෙයින් තමිල්නාඩුවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට පහරදීම් වැනි සිද්ධි වර්ධනය වන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික විජිත හේරත් මහතා ප්‍රකාශ කරයි.
දිගින් දිගටම තමිල්නාඩුවේදී ශ්‍රී ලාංකිකයන්ට එල්ල වන ප්‍රහාර වැළැක්වීම සඳහා ආණ්ඩුව වහාම මැදිහත් වී ස්ථිරසාර විසඳුම් ක්‍රියාමාර්ගයක් ඉන්දීය රජය සමඟ ඇතිකරගත යුතු බව පවසන මන්ත්‍රිවරයා, එය දෙරට අතර රාජ්‍යතාන්ත්‍රිකව කටයුතු කිරීමෙන් පමණක් නිරාකරණය කිරීමට නොහැකි බවද පවසයි.විජිත හේරත් මහතා වැඩිදුරටත් පැවසූවේ "මේ රටේ මානව හිමිකම් උල්ලංඝනය කරන්නේ මේ ආණ්ඩුව. මාධ්‍යවේදීන්ට පහර දෙන්නේ, මාධ්‍යවේදීන් ඝාතනය කරන්නේ, මාධ්‍ය ආයතන ගිනිබත් කරන්නේ මේ ආණ්ඩුව. උතුරේ අර්ධ මිලිටරි පාලනයක් ක්‍රියාත්මක කරන ආණ්ඩුව එම ජනතාවට ඉටි රෙදිවලින් හැදූ කූඩාරම්වල රැඳෙන්න ඉඩ ඇරලා තිබෙනවා.
අද රටේ දෙමළ, මුස්ලිම්, සිංහල ජනයා විශාල ප්‍රශ්න රාශියකට මුහුණ දීලා තිබෙන වෙලාවක් මේ වෙලාව. ඊට හේතුව ආණ්ඩුවේ හිතුවක්කාරී පාලනය නිසා ආණ්ඩුවේ ප්රජාතන්ත්ර විරෝධී පාලන ක්‍රමය නිසා.එවැනි තත්ත්වයකදී තමිල්නාඩුවේ සිටිමින් පුරාවිද්‍යා ගවේෂණ කටයුතුවල නිරත වන හාමුදුරුවන්ට සහ විශ්වවිද්‍යාල සිසුන්ට පහර දී ඔවුන්ගෙන් වෛරය පිරිමැසීම වැරැදියි. එමඟින් ශ්‍රී ලංකාවේ ජනතාව අතර තව තවත් වෛරයක් හා ජාතීන් අතර විරසක භාවයක්ද ඇතිවීමට ඉඩකඩ තිබෙනවා.
වැරැද්ද කරන්නේ ලංකාවේ ආණ්ඩුව. මේ තත්ත්වය පාලනය කරන්න ආණ්ඩුව මැදිහත් වෙනවා වෙනුවට මොකද්ද ආණ්ඩුව කරන්නේ? මූලිකව ආණ්ඩුව කළ යුත්තේ රටක් වශයෙන් ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කිරීමයි. ආණ්ඩුව මේ ගැටලුව ඉක්මනින් විසඳාලීමට කටයුතු නොකළහොත් මෙය තව තවත් බරපතළ අතට හැරෙන්න පුළුවන්.