මිනී මරන ගෝනුස්සෙක් යාපනයෙන් මතු වෙයි - white scorpion found in Jaffna

 උතුරේ යුද්ධය ආරම්භ වීමට පෙර මෙරටින් කිසිවිටෙකත් වාර්තා නොවූ මාරාන්තික විෂ සහිත ‘සුදු ගෝනුස්සකු’ යාපනයෙන් සොයාගෙන ඇත.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යා අංශය, වෛද්‍ය පීඨය සහ යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් පිරිසක් මෙම ගෝනුසු විශේෂය සොයාගෙන ඇති අතර, යුද්ධය පැවැති කාලයේදී සහ යුද්ධය අවසන් වීමෙන් පසු මෙම ගෝනුස්සා දෂ්ට කිරීම නිසා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ පුද්ගලයන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ.
එකී පර්යේෂකයන් අවධාරණය කරන්නේ මෙම ගෝනුස්සා ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේදී දැකිය හැකි බවත්, එහි සිට කවුරුන් හෝ රහසිගතව උන් මෙරටට ගෙනැවිත් දමන්නට ඇති බවත්ය.
කෙසේ වෙතත් අදාළ පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධානියකු වන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය එස්.ඒ.එම්. කුලරත්න මහතා පවසන්නේ මෙම ‘සුදු ගෝනුස්සා’ ඉන්දියානු සාම සාධක හමුදාව හරහා මෙරටට පැමිණි බවට සැක පහළ කළ හැකි බවයි.
සාම සාධක හමුදාව මෙරටින් පිටත්ව ගිය පසු 1991 වසරේදී මුල් වරට සුදු ගෝනුස්සකුගේ දෂ්ට කිරීමක් සම්බන්ධයෙන් වාර්තා වී ඇති බවත්, ඉන් පසු දිගින් දිගටම යාපනය ශික්ෂණ රෝහලට මෙම ගෝනුස්සන් දෂ්ට කළ පුද්ගලයන් ඇතුළත් කර ඇති බවත් පෙන්වා දෙන මහාචාර්යවරයා, වැඩිදුරටත් අවධාරණය කරන්නේ මෙම ගෝනුස්සාගේ ශීඝ්‍ර ව්‍යාප්තියක් දක්නට ඇති බවයි. දැනට යාපනයේ පලාලි, කරෙයිනගර් සහ අච්චුවේලි යන වෙරළාශ්‍රිත ප්‍රදේශවලින් බහුල ලෙස වාර්තා වන මෙම සුදු ගෝනුස්සා කිලිනොච්චියෙන් බැහැර ප්‍රදේශවලටද ව්‍යාප්ත වීමේ බරපතළ අනතුරක් ඇති බව මහාචාර්යවරයා පෙන්වා දෙයි.
මෙම විද්වතුන් සකස් කර ඇති එම වාර්තාවේ සඳහන් වන ආකාරයට 2006/2007 සහ 2009 යන වර්ෂවලදී සුදු ගෝනුස්සා දෂ්ට කිරීම නිසා එක් මරණයක් බැගින් වාර්තා වී ඇත. කෙසේ වෙතත් 2003 වර්ෂයේදී ළමයින් 12 දෙනකු මේ නිසා මරණයට පත්වී ඇති බවද එහි වැඩිදුරටත් සඳහන් වේ.
කාවින්ද ධම්මික
උපුටා ගැනීම  -මව්බිම 
 

Gossip Lanka Hot News Previous News Archive