ශ්‍රී ලංකාව හා ඇමෙරිකාව අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය බිඳ වැටීමේ පෙර ලකුණු පහළ කරමින් ඇමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට ලබාදෙන ආධාර 20%කින් කපා දැමිය යුතු යැයි එරට රාජ්‍ය ලේකම් ජෝන් කෙරී යෝජනා කර ඇත. ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ශ්‍රී ලංකාවට දෙන ආධාර මෙසේ කපා දමන ලෙස යෝජනා කර ඇත්තේ යුද්ධය අවසන් වීමෙන් පසුව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සුරැකීමේ තත්ත්වය දුර්වල වීම, නැවත ගොඩනැඟීම හා දේශපාලන සංහිඳියාව දුර්වල වීම, යන කරුණු මුල්කරගෙන බව ඉන්දීය පී.ටී.අයි. ප්රවෘත්ති සේවය වාර්තා කර තිබේ.
ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා අනුමතය පිණිස එරට කොංග්රස් මණ්ඩලය වෙත පසුගිය සතියේ ඉදිරිපත් කරන ලද අය-වැය යෝජනාවලදී දකුණු ආසියා රටකට එරෙහිව සිදුකරන ලද බරපතළම ආධාර කප්පාදුව ශ්‍රී ලංකාවට එරෙහි 20% කපා දැමීම බව පැවැසේ.ජෝන් කෙරී මහතාගේ අය-වැය යෝජනාවලදී මේ වසරේ ශ්‍රී ලංකාවට ආධාර වශයෙන් ඇමෙරිකා ඩොලර් මිලියන 11ක් යෝජනා කර ඇති අතර එය 2012 වසරේදී ශ්‍රී ලංකාවට ලබා දුන් ආධාරවලට සාපේක්ෂව 20%ක අඩුවීමක් බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරියකු පවසා ඇත.
මේ ආධාර 20%කින් කපා දැමීමට බලපා ඇති ප්‍රධාන කරුණක් ලෙස එම නිලධාරියා පෙන්වා දී ඇත්තේ ඇමෙරිකා රජය විසින් උතුරේ සිදුකරන ඇමෙරිකා ආධාර වැඩසටහන් ව්‍යාපෘතිවලදී යුද හමුදාව එම වැඩ කටයුතුවලට සම්බන්ධ වීමට දරන උත්සාහයයි. උතුරේ සිවිල් කටයුතුවලට හමුදා සම්බන්ධ වීමට දරන උත්සාහය නිසා තම වැඩසටහන් සීමා කිරීමට සිදුවන බවත් එය ශ්‍රී ලංකාවේ තම මුදල් යෙදවීම සීමා කිරීමට සිදුව ඇති බාධාවක් බවත් ඔහු පෙන්වා දී තිබේ.