Pages

2012 වසරේ ළමුන් 1700ක් දුෂණය වෙලා !

මෙරට දිස්‌ත්‍රික්‌ විසි පහ තුළ පසුගිය වසරේදී ළමයින් 1759 ක්‌ සහ කාන්තාවන් 330 ක්‌ දූෂණය කර ඇති බවට වාර්තා වී ඇතැයි ආණ්‌ඩු පක්‌ෂයේ ප්‍රධාන සංවිධායක ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (09 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
ඊට අමතරව ළමයින් 547 ක්‌ සහ කාන්තවන් 29 ක්‌ ලිංගික හිංසාවන්ට ලක්‌ව ඇතැයිද කී දිනේෂ් ගුණවර්ධන මහතා ළමා අපචාර සිද්ධීන් 1194 ක්‌ වාර්තා වී තිබෙන බවද පැවැසුවේය.දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ලබාදෙන ලද පිළිතුර අනුව ළමයින් වැඩි ප්‍රමාණයක්‌ දූෂණයට ලක්‌ව තිබෙන්නේ අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේය. එම ප්‍රමාණය 173 කි. කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේ ළමයින් 166 ක්‌ සහ කොළඹ දිස්‌ත්‍රික්‌කයේ 129 ක්‌ දූෂණය ලක්‌ව ඇත.
ගම්පහ සහ රත්නපුර ළමයින් 111 බැගින් සහ ගාල්ලේ ළමයින් 106 ක්‌ද හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ ළමයින් 93 ක්‌ද දූෂණයට ලක්‌ව තිබේ.කාන්තාවන් වැඩි ප්‍රමාණයක්‌ දූෂණයට ලක්‌ව තිබෙන්නේ මහනුවර දිස්‌ත්‍රික්‌කයේය.එම ප්‍රමාණය 31 කි. කොළඹ සහ අනුරාධපුර දිස්‌ත්‍රික්‌කවල කාන්තාවන් 30 දෙනා බැගින් දූෂණයට ලක්‌ව ඇත.

ළමුන් වැඩි ප්‍රමාණයක්‌ ලිංගික හිංසනයට පාත්‍රවී තිබෙන්නේද අනුරාධපුරයේය. එම ප්‍රමාණය 55 කි. රත්නපුර දිස්‌ත්‍රික්‌කයේ ළමයින් 48 ක්‌ කළුතර 41 ක්‌ කුරුණෑගල 40 ක්‌ ලෙස වාර්තා වී තිබේ.මීට අමතරව ළමා අපචාර වැඩි ප්‍රමාණයක්‌ කොළඹ දිස්‌ත්‍රික්‌කයෙන් වාර්තාවේ. එම ප්‍රමාණය 143 කි. ගම්පහ සිද්ධීන් 116 ක්‌ කුරුණෑගල 99 ක්‌ රත්නපුර 67 ක්‌ ලෙස වාර්තාවී තිබේ.දිවයින පුරා සිදුව ඇති ළමා හා කාන්තා දූෂණ අපචාර හා හිංසනයන් ප්‍රමාණය 3859 කි.