Pages

ශ්‍රී ලාංකිකයන් 3 දෙනකුගෙන් එක්‌ අයකුට අධිරුධිර පීඩනය - High Blood Pressure

ශ්‍රී ලංකාවේ වාසය කරන සෑම 3 දෙනෙකුගෙන්ම එක්‌ අයකුම අධි රුධිර පීඩනයෙන් පෙළෙන බව අනාවරණය වී ඇතැයි ශ්‍රී ලංකාවේ සිටින ලෝක සෞඛ්‍ය සංවිධානයේ නේවාසික නියෝජිත වෛද්‍ය එ. ආර්. මේතා මහතා පවසයි.මෙම තත්ත්වය දකුණු ආසියාතික කලාපයේ දැකිය හැකි බවද ඔහු පෙන්වා දෙයි.

හෘද රෝග, ආඝාතය (ස්‌ට්‍රොaක්‌) වැනි රෝගවලට ගොදුරු වීමට අධි රුධිර පීඩනය ප්‍රධාන හේතුවක්‌ වී ඇතැයි පෙන්වා දෙන වෛද්‍ය මේතා ලොව පුරා අධි රුධිර පීඩනයෙන් පෙළෙන්නන් මිලියන 9.4 ක්‌ වාර්ෂිකව මියයන බවද අවධාරණය කළේය.ශ්‍රී ලංකාවේ සමස්‌ත ජනගහනයෙන් අවුරුදු 18-65 වයස්‌ කාණ්‌ඩයට අයත් සියයට 20 ත් 25 ත් අතර සංඛ්‍යාවක්‌ අධි රුධිර පීඩනයෙන් පෙළෙන බව සමීක්‌ෂණවලදී අනාවරණය වී ඇති අතර වයස අවුරුදු 25 ට වැඩි පුද්ගලයන්ගෙන් සියයට 39 ක්‌ද, නාගරික ජනගහනයෙන් සියයට 38 ක්‌ද අධි රුධිර පීඩනයෙන් පෙළෙන බව සමීක්‌ෂණ වාර්තා පෙන්වා දෙයි.

අධික ලුණු භාවිතය හා දුම්පානය අධි රුධිර පීඩනයට ගොදුරු වීමට ප්‍රධාන වශයෙන් හේතු වී තිබේ. ලුණු භාවිතය අඩු කිරීමෙන් හා දුම්පානය අත්හැරීමෙන් එම රෝගී තත්ත්වයට ගොදුරු වීම වළක්‌වා ගත හැකි බව වෛද්‍ය මතය වී තිබේ.

විශේෂයෙන්ම ලුණු භාවිතය අඩු කිරීමේදී ලුණු අධිකව අඩංගු සකස්‌ කරන ලද මස්‌ වර්ග, ක්‌ෂණික ආහාර වර්ග, සෝස්‌, බිස්‌කට්‌ හා ලුණු යෙදූ අල තීරු වැනි ආහාර වර්ග ගැනීම අඩු කිරීම මෙන්ම පිසිනු ලබන බතට ලුණු එක්‌ නොකොට ඒ වෙනුවට රම්පේ, කුරුඳු වැනි ස්‌වාභාවික රස කාරක එක්‌කිරීම, වෑංජනවලට ලුණු අඩුවෙන් යොදා ගනිමින් දෙහි හා ගොරකා එක්‌ කිරීම සිදු කළ හැකි බව ප්‍රජා විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා මහත්මිය පැවැසුවාය.

එළවළු හා පලතුරු වර්ග වැඩි වශයෙන් ආහාරයට ගැනීමෙන් රුධිර පීඩනය අවම කර ගත හැකි වේ.

අප්‍රේල් 7 වැනිදාට යෙදී ඇති ලෝක සෞඛ්‍ය දිනය පිළිබඳව කරුණු පැහැදිලි කිරීම සඳහා කොළඹ සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවැති මාධ්‍ය සම්මන්ත්‍රණයකදී මෙම කරුණු අනාවරණය විය.

කොළඹ ජාතික රෝහලේ ආඝාත ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න, වෛද්‍ය තලතා ලියනගේ, වෛද්‍ය පාලිත මහීපාල, වෛද්‍ය නිහාල් ජයතිලක, වෛද්‍ය පාලිත කරණාපේම, මිලින්ද රාජපක්‌ෂ හා වෛද්‍ය කපිල සූරියආරච්චි යන මහත්ම මහත්මීහුද මෙහිදී අදහස්‌ දැක්‌වූහ.
-දිවයින-