ලංකාව ආසියාවේ ආශ්චර්ය බවට පත්වීමේ මහා සංවර්ධන සංග්‍රාමය දැන් දියත් වී අවසානය. ජාත්‍යන්තර ගුවන්තොටුපොළ, වරාය, අධිවේගී මංමාවත් ආදිය ලහිලහියේ ඉදිවෙමින් පවතී. එහෙත් එම භෞතික සංවර්ධනයට සාපේක්‍ෂව මිනිසුන්ගේ මානසික සංවර්ධනය සිදුවනවාදැයි ගැටලු සහගතය.ලංකාවේ විවාහකයන්ගේ පවුල් ජීවිතය පිළිබඳ කොළඹ සරසවියේ ජනමාධ්‍ය අධ්‍යයන අංශයේ මෙහෙයවීම යටතේ ලංකාවම ආවරණය වන පරිදි කළ සමීක්‍ෂණයකින් අනාවරණය වූ තොරතුරු අනුව පුද්ගල මානසික සංවර්ධනයේ උෟනතා සහ සමාජ ගැටලු පිළිබඳ වැදගත් තොරතුරු රාශියක් හෙළිවී තිබේ.
එම සමීක්‍ෂණයට අනුව ලංකාවේ විවාහකයන්ගෙන් සියයට 61ක් ගත කරන්නේ අතෘප්තිමත් ජීවිතයකි. මෙහිදී අනාවරණය වී ඇති විශේෂ කරුණක් වන්නේ විවාහ ජීවිතය අතෘප්තිමත් යැයි පවසන අයගෙන් සියයට 81කට දරුවන් සිටීමයි. ඒ අනුව අවබෝධ වන්නේ විවාහ දිවිය අසාර්ථක වීමට දරුවන් නොමැතිය යන කාරණාව අදාළ නොවන බවයි.
තම විවාහ ජීවිතය තෘප්තිමත් බව සමීක්‍ෂණයට භාජනය වූවන්ගෙන් සියයට 39ක් පවසා ඇති අතර එම සංඛ්‍යාවෙන් සියයට 61ක් අවුරුදු 20-35ත් අතර පසුවන අය වෙති.සමීක්‍ෂණයට භාජනය වූවන්ගෙන් සියයට 64ක් රැකියා කරන අය වීමද විශේෂත්වයකි. රැකියා කරන බහුතරයක් දෙනා සිය රැකියා පරිසරය තුළ ඇති රාජකාරි සමඟ යම් මානසික ආතතියකින් පසුවන අතර රාජකාරි ස්ථානයේ ඇති වන ගැටලු පවුල් ජීවිතය කෙරෙහි ඍජු බලපෑමක් ඇති කරන බව සමීක්‍ෂණයට භාජනය වූවන්ගේ තොරතුරුවලින් හෙළිවේ.දික්කසාද වීමේ වැඩිම ප්‍රතිශතයක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම ප්‍රතිශතය සියයට 57කි. අන් දිස්ත්‍රික්ක සමඟ සසදා බැලීමේදී කොළඹ දිස්ත්‍රික්කයේ දික්කසාද වීමේ ප්‍රතිශතය ඉතා ඉහළ අගයක් ගන්නා බව සමීක්‍ෂණයෙන් අනාවරණය වී ඇත.
දික්කසාද වූවන්ගෙන් සියයට 58ක් විවාහ වී ඇත්තේ ප්‍රේම සම්බන්ධතා මත වන අතර සියයට 42ක් විවාහ වී ඇත්තේ යෝජිත විවාහ මතය.ආදර සබඳතා මත සිදුවන විවාහ දිගුකල් පවතිනවාය යන මතය ඉහත තොරතුරුවලින් මිථ්‍යාවක් බවට පත්වේ. විවාහයන් බිඳවැටීමේ කාලය පිළිබඳ අවධානය යොමු කිරීමේදී සිදුවූ සමස්ත විවාහවලින් සියයට 35ක් වසරක් තුළ දික්කසාදයෙන් කෙළවර වී තිබේ.
අවුරුද්දත් අවුරුදු 3ත් අතර කාලය තුළ සියයට 33ක් දික්කසාද වී ඇති අතර අවුරුදු 3ත් 5ත් අතර සියයට 21ක් දික්කසාද වී තිබේ. සියයට 11ක් දික්කසාද වී ඇත්තේ විවාහ වී වසර 5කට වැඩි කාලයක් ගතවූ පසුවය.
පවුල් ආරවුල්, දික්කසාද වීම් වැනි දේ සිදුවන්නේ ආර්ථික අපහසුතා නිසා යැයි සමාජයේ මතයක් පවතී. එහෙත් මෙම සමීක්‍ෂණයෙන් අනාවරණය වූ තොරතුරු ඊට හාත්පසින්ම වෙනස්ය.
ඒ අනුව සියයට 45ක් දික්කසාද වී ඇත්තේ "අදහස් නොගැළපීම" යන හේතුව මතයි. සියයට 27ක් කාන්තාවන් දික්කසාද වීමට හේතුව කරගෙන ඇත්තේ සැමියා මත්ද්‍රව්‍ය භාවිත කරන බව පවසමිනි.
සැමියාගේ හෝ බිරියගේ අනියම් සබඳතා ඇති බව පවසමින් සියයට 15ක් දික්කසාද වී ඇත. මීට අමතරව නැන්දා - ලේලි ආරවුල්වලින් සියයට 6ක්ද, ඥාති සහ ආර්ථික ප්‍රශ්න ආදිය නිසා සියයට 7ක්ද දික්කසාද වී ඇත.
පවුල් ආරවුල් ඇතිවීම සහ දික්කසාද සිදුවීම කෙරෙහි ආර්ථික ගැටලු ප්‍රධාන හේතුවක් නොවන බව මෙම සමීක්‍ෂණය මඟින් අනාවණය වී ඇති අතර බිරිය සහ ස්වාමිපුරුෂයා අතර පවතින මතවාදීමය නොගැළපීම අද සමාජ ගැටලුවක් වී තිබේ.
මෙම සමීක්‍ෂණයෙන් අනාවරණය කර ගැනීමට හැකිවී ඇති තවත් වැදගත් කාරණයක් වන්නේ දික්කසාද වූවන්ගෙන් සියයට 59ක් වෙන්වීමෙන් පසුවද අසතුටෙන් ජීවත් වීමය.ඇතැම් කාන්තාවන් සහ පුරුෂයන් ඉතා සුළු හේතු මත ඇතිවූ හදිසි ආවේග නිසා දික්කසාද වී ඇති අතර දික්කසාද වූ බහුතරයක් දෙනා දික්කසාදයෙන් පසුව ඒ පිළිබඳ අසතුටෙන් පසුවන බවද අනාවරණය විය.
මෙම සමීක්‍ෂණයට සමගාමීව අවුරුදු 40ත් 70ත් අතර පසුවන පුද්ගලයන් තෝරා ඔවුන්ගේ පවුල් ජීවිතය පිළිබඳ විමසා බැලීමේදී ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ තමන්ට දික්කසාද වීමට ඕනෑ තරම් හේතු පැවතියත් දරුවන්, පවුලේ අනාගතය ආදිය පිළිබඳ සිතා දික්කසාද නොවූ බවයි. එහෙත් තරුණ පිරිස් එවැනි බැඳීම් පිළිබඳ එතරම් තැකීමක් නොකර දික්කසාද වීමට කටයුතු කරන බවද එම සමීක්‍ෂණයේ තොරතුරුවලින් අනාවරණය විය.
ලංකාවේ පවුල් සැලැසුම් ක්‍රමවල පවතින දුර්වලතා පිළිබඳව මෙම සමීක්‍ෂණයෙන් ලද තොරතුරු මඟින් මනාව පැහැදිලි වේ. එම නිසා වගකිවයුතු අංශවල බලධාරීන්ගේ අවධානය මෙම ගැටලුව පිළිබඳව යොමුකර විසිරුණු පවුල් නැවැත එක් කිරීමේ සහ විසිරීමේ අවදානමට ලක්වී ඇති පවුල් ආරක්‍ෂා කිරීමේ ක්‍රමවත් වැඩපිළිවෙළක් ඇති කිරීම කාලීන අවශ්‍යතාවක් බවට පත්ව ඇත.
මධුසංඛ පෙරේරා