ධාර්මිකව උපයාගත් ධනයෙන් පී‍්‍රතිමත් අවුරුද්දක්

 මාබිම තායි ශ්‍රී ලංකා බෞද්ධ මධ්‍යස්ථානාධිපති රාස්සගල සීවලී හිමි
බිඳුණු නෑදෑකම් යළිත් තහවුරු කරන, මවුපිය සෙනෙහස, හිතවත්කම්, බැඳීම් වැඩි දියුණු කරන සිංහල අලුත් අවුරුද්ද අදයි. යහපත් අර්ථ රැසක් පවුලට, ගමට, රටට දායාද කරමින් එළඹි මේ නව වසර බෞද්ධ ඔබට ඉතාමත් සුවිශේෂී ය. මවුපියන් වෙතින්, වැඩිහිටියන්ගෙන් ඔබ පෙරදා ලද අත්දැකීම්, වටිනාකම් දූ දරුවන්ට, අනාගතයට දායාද කළ හැකි වන්නේ ඔබට පමණක් වන බැවිනි.

බෞද්ධාගමින් පෝෂණය වූ අපේ උදාර සංස්කෘතියට ඇත්තේ අවුරුදු දෙසීයක තුන්සියයක ඉතිහාසයක් නොවේ. එය ඉතා දිගු ඉතිහාසයකි. අවුරුදු දහස් ගණනක සිට ආරක්‍ෂා කර ගත් ඒ සාරධර්ම හා සිරිත් විරිත් ගැන අපේ දරුවන්ට කියා දිය යුතු වන්නේ, ආදර්ශ දිය යුතු වන්නේ අප විසිනි.


සරල දිවි පෙවෙතක් ගෙවූ අපේ මුතුන් මිත්තෝ වගකීම් අකුරට ඉටු කළහ. ඒ සිරිත් විරිත්, වටිනාකම් අපේ සමාජයෙන් ටිකෙන් ටික දුරස් වුණේ විවෘත ආර්ථිකයේ ආගමනය නිසාය. එලෙස ආගමික, සංස්කෘතික වටිනාකම්වල පහළ යාමේ ප්‍රතිඵල අද අපි භුක්ති විඳිමු. සමහර දරුවන්ට තම වයෝවෘද්ධ මවුපියන් අමතක වීමේ සිට ඇතැම් මවුපියන්ට තමන්ගේ ලෙයින් බිහි කළ දරුවන් එපාවීමේ සිට මේ සමාජයේ සිදුවන අපරාධ, මංකොල්ලකෑම්, වංචා දූෂණ හා මිනී මැරුම් ආදී වූ නොපනත්කම් වර්ධනය වූයේ ඒ සාරධර්ම සමාජයෙන් ගිලිහී යාම නිසා ය.

මේ නිසා නව වසර උදාවත් සමඟ අප වෙතින් ගිලිහී ගිය වටිනාකම් නැවත එක්තැන් කර ගන්නට, තමන් ගේ ගෘහයේ, ගමේ, රටේ අලුත් පිබිදීමක් ඇති කරන්නට අපි කැප විය යුතුවෙමු. ඒ එළඹුම, නව පිබිදීම වැඩිහිටියන් ගේ මෙන් ම කුඩා දරුවන්ගේ ද ජීවිතයේ නව ඇරැඹුමක් සනිටුහන් කරනු ඇත.

ගොවිතැනින් ස්වයංපෝෂිත වූ අපේ අතීත මුතුන් මිත්තන් සිංහල අවුරුද්ද උදාවත් සමඟ තමන් ලද අස්වැන්නේ මුල්කොටස දෙවියන්ට පූජා කළේ අලුත් අවුරුද්ද මුල් කරගනිමිනි. ඒ ස්තුති කිරීමේ චාරිත්‍රයක් ලෙසිනි. වර්තමානයේ ඊට ඔබ්බට ගිය විශේෂත්වයක් නව අවුරුදු උදාවත් සමඟ දැක ගත හැකිය. එදා අම්මා, තාත්තා, දරු මුනුපුරන් ආදී මේ සියලු දෙනාගෙන් ම සැදුම් ලත් පවුල අද වන විට විසිරී ගොස් තිබේ. රැකියාව පිණිස දුරබැහැර යාම මෙන් ම විවාහ වී පවුලෙන් දුරස් වීම ද වත්මන් හි සෑම ගෘහයකටම පාහේ පොදු අත්දැකීමකි. එසේ විසිරී ගිය සාමාජිකයන් නව අවුරුද්දේ එකම ගෘහයකට එක්රැස් වීම ඉතාමත් සුවිශේෂීය.

පීතෘ මූලික අපේ සමාජයේ තාත්තා ගේ අතින්, අම්මා ගේ අතින් බත් පිඬක් අනුභව කිරීමෙන්, ඔවුන්ට බුලත් හුරුළු, තෑගි බෝග දී දෙපා නැමදීමෙන් දරුවෝ සැනසීමක් ලබති. තමන් ගේ දෙපා මුල වැඳ වැටෙන දරුවන් කෙරෙහි වූ අප්‍රමාණ ආදරයෙන් මවුපියෝ ද ආශිර්වාද කරති. සහෝදර සහෝදරියන් අතර ද එකමුතුකම වැඩි දියුණු වන අතර මේ ඇරඹුම නව අවුරුද්දට පමණක් නොව මුළු ජීවිතයටම ආශිර්වාදයක් වන්නේ ය. තමන් දුක් මහන්සියෙන් උපයා ගත් දෙයින් කොටසක් මවුපියන්ට, දරුවන්ට වෙන් කිරීම තුළ පවුලේ සමඟිය මෙන් ම ස්ථාවර බව ද ගොඩනැඟේ. ගෘහයේ ශක්තිමත් බව නිසා ගමද, ඒ නිසා ම නගරය ද, රට ද ශක්තිමත් වේ.

මේ නිසා සිංහල අලුත් අවුරුද්ද වටිනා සංස්තෘතික පදනමක් ඇති ජීවිතයට අපූරු අත්දැකීම් ලබාදෙන සුවිශේෂී අවස්ථාවක් ලෙස හඳුනා ගැනීම යහපත් ය. බුදු දහමේ ඉගැන්වෙන මවුපිය උපස්ථානය, ඥාති සංග්‍රහ, ආගන්තුක සත්කාරය මේ කාල සීමාවේ උපරිම වශයෙන් ක්‍රියාත්මක වීම නිසා එකිනෙකා අතර සම්බන්ධය තහවුරු වීමෙන් පුද්ගල මෙන් ම පුද්ගලාන්තර අභිවෘද්ධිය උදාවේ. මෙලොව ජීවිතය මෙන් ම පරලොව ද සුඛිත මුදිත වේ.

මවුපිය, ගුරුවර, වැඩිහිටියන් මෙන් ම තෙරුවන් ඉදිරියේ දණ නමා හිස නමා වැඳ නමස්කාර කිරීමෙන්, පුද පූජා කිරීමෙන් ලබන්නා වූ ආශිර්වාදය වසර පුරා ම නිරෝගී සම්පත වර්ධනය වීමට මහෝපකාරී වේ.

බුදු දහමින් සුපෝෂිත වූ සිංහල සංස්කෘතියේ බෙදා හදා ගැනීම උතුම් ගුණාංගයක් කොට සැලසේ. දානය යන වචනය දෛනිකව, නිරන්තරයෙන් ම සෑම ක්‍රියාවක දී ම පාහේ අසන්නට ලැබෙන අතර අලුත් අවුරුදු සමයේ පූජාව, දානය සංග්‍රහය, පරිත්‍යාගය යන වචනවලින් ප්‍රකාශ වන දීමනා මහා සංඝරත්නය, මවුපිය දූ දරුවන්, ඥාති හිත මිතුරන්, අසල්වාසීන් හා දුගී මගී යාචකාදීන් උදෙසා ක්‍රියාත්මක වේ. මේ නිසා සිංහල හින්දු අලුත් අවුරුද්ද ලොකු කුඩා දුප්පත් පොහොසත් සියල්ලන්ටම එක හා සමාන වන්නේ ය. පී‍්‍රතිය සතුට උදා කරන්නේ ය. ඒ හැඟීම දරුවන්ට දැනෙන ලෙස තම හැසිරීම් වඩාත් හොඳින් හසුරුවා ගන්නට වැඩිහිටියන් ඇප කැප විය යුතුය.

ගිහියකුට ජීවිතයේ සතුට පී‍්‍රතිය තිබිය යුතු බව බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දුන්හ.

’සංතුට්ඨි පරමං ධනං’ ලෙසින් දැක්වූයේ එයයි. දරුවන්ට, පවුලේ අනෙකුත් සාමාජිකයන්ට ඒ සතුට උදාකර දීමේ වැඩි වගකීම මවටය. ගිහි ජීවිතයේ ප්‍රධාන සැප හතරක් පිළිබඳව බුදු දහමේ සඳහන් ය. අත්ථි සුඛය, භෝග සුඛය, අණන සුඛය හා අනවජ්ජ සුඛය ලෙස දක්වා ඇත්තේ ඒ සැප හතරයි.

අත්ථි සුඛය නම් තමන්ට ප්‍රමාණවත් පරිදි ධනය තිබෙන බවට ඇති සතුටයි. භෝග සුඛය නම් ඒ ධනය නිර්ලෝභීව පරිබෝග කරනවා යන හැඟීමෙන් ඇතිවන සතුටයි. අණන සුඛය ලෙසින් හැඳින්වූයේ කිසිවෙකුටත් ණය නැති බවට ඇතිවන සතුටයි. අනවජ්ජ සුඛය නම් තමන් වැරදි ජීවන රටාවකට අනුගත නොවී හෘද සාක්‍ෂියට එකඟව, අවංකව ජීවත්වනවා යන හැඟීම නිසා ඇතිවන සතුටයි. මේ සැප ළඟා කරගත් විට ගිහියාට තම ජීවිතය සතුටින් ගෙවා දැමීම අසීරු වන්නේ නැත. ඒ සඳහා කැපවීම වගේ ම දැඩි අධිෂ්ඨානයත් ඇවැසිය. උදාවූ නව වසරේ දී ඒ සඳහා ඔබට අලුත් ආරම්භයකට මුල පිරිය හැකිය.

විශේෂයෙන් උත්සව අවස්ථාවක දී හැසිරිය යුතු ස්වභාවය ගැන පතිනියකට හොඳ අවබෝධයක් තිබිය යුතුය. ‘ණය වෙලා හරි අවුරුදු දවස සතුටින් ඉන්න ඕනෑ’ යන අදහසින් අසල්වැසියන්ට, හිත මිතුරන්ට ණය තුරුස් වී ඉහළින් අවුරුදු සැමරීම බෞද්ධ ප්‍රතිපත්තිය නොවේ. පමණ දැන වියදම් කරන්නටත්, තමන් ගේ තරමට කටයුතු කරන්නටත් කාන්තාවට මෙන් ම පුරුෂයාට ද හොඳ අවබෝධයක් තිබිය යුතුය. සකසුරුවම දන්නා කාන්තාව සමබරව, තමන් ගේ මෙන් ම දරුවන්ගේත් පවුලේ අනෙකුත් සාමාජිකයන් ගේත් සතුට ආරක්‍ෂා කරගන්නට දනී.

ධන සම්පත් ඉහළින් ඇති අසල්වැසියන්, එසේත් නැතිනම් හිත මිතුරන් අවුරුදු සමරන සැටියෙන් දිළිඳු කාන්තාවකට විය පැහැදම් කළ නොහැකි ය. අනුන් අනුකරණය කරමින් ණය තුරුස් වී හෝ අවුරුදු සමරන්නට ඇය කල්පනා කරනවා නම්, ඒ ගෘහයට කිසි කලෙකත් සතුට සැනසීම හිමි වන්නේ නැත. එවැනි පුද්ගලයන් ප්‍රඥාවෙන් තොර මෝඩ මිනිසුන් බව බෞද්ධ ඉගැන්වීමයි.

පවුලක ආර්ථික ගැටලු ඇතිවීම සාමාන්‍ය ස්වභාවයයි. එහෙත් උත්සාහය හා අධිෂ්ඨානය ඇත්නම් ඒ ගැටලු විසඳා ගැනීම අසීරු වන්නේ නැත. මානය, අහංකාරකම, උඩඟු බව දුරු කොට ජීවිතයේ සියලු කාර්යයන් සැලසුමකට අනුව සංවිධානය කිරීම එහිදී වඩාත් ප්‍රයෝජනවත් ය.

පී‍්‍රතිමත් අවුරුද්දක් වීමට නම් තමන් ඒ වෙනුවෙන් විය පැහැදම් කරන ධනය ධාර්මිකව උපයාගත් දේ වීමද අත්‍යවශ්‍යය. දරුවන් සමඟ, ස්වාමි දියණිය සමඟ සැබෑ සතුටක් භුක්ති විඳිය හැකි වන්නේ එවිටය. සොරකමින්, වංචාවෙන්, දූෂණයෙන් තොරව, දහදිය මහන්සියෙන්, ධාර්මිකව උපයාගත් දෙයක් පමණක් භුක්ති විඳිනවා නම් නව වසරේ නිවැරැදි ලෙස පී‍්‍රතිය, සතුට භුක්ති විඳින පුද්ගලයෙක් වීමට ඔබට පුළුවන.

එලෙස ධාර්මිකව හරි හම්බ කරගත් දෙයින්, ණය නොවී ඉතිරි කරගත් මුදලින් දරුවන් සමඟ එක්ව අවුරුද්දේ සතුට සමරන ඔබට ඥාතීන් අතර සුහදත්වය ඇති කර ගැනීම ද ඉතා වැදගත් ය. හිත් අමනාපකම් ඇති වී තිබේ නම් ඒවා දුරු කර ගැනීමට මේ හොඳම අවස්ථාවකි. බුලත් හුරුල්ලක් ගෙන ඥාතීන්ගේ නිවෙසට ගොඩවෙන ඔබ ඔවුන් කිසි විටෙකත් ප්‍රතික්ෂේප කරන්නේ නැත. එසේ ඇතිවන බැඳීම ඔබට මෙන් ම ඔවුන්ගේ ජීවිතයට ද මනා ශක්තියක් වනු ඇත.

සිංහල හින්දු අලුත් අවුරුද්ද ආගමික සාමාජීය හා ජාතික උත්සවයක් ද වේ. ගමේ තරුණ කණ්ඩායම්වල සහභාගීත්වයෙන්, විහාරස්ථානයේ, සමිති සමාගම්වල සංවිධානයෙන් පැවැත්වෙන බක්මහ උලෙළ එහි තවත් සුවිශේෂී අවස්ථාවකි. තමන් ගේ ගමේ මෙන් ම අසල්වාසී ගම්වල අය ගේ ද සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම උත්සව පාරම්පරික ක්‍රීඩා, සමගිය සතුට විනෝදය ගෙන එන විවිධ අංගයන්ගෙන් සමන්විතය. ඒ සියලු දේ ට සහභාගී වන, නරඹන දරුවන් ද සමාජය ගැන, සමාජයේ ජීවත්විය යුතු සැටි ගැන, එකමුතු කමේ අගය ගැන බොහෝ වටිනා ගුරු හරුකම් උගනී. විශේෂයෙන් පොත පතේ අධ්‍යාපනයට ම නැඹුරු වී සිටින දරුවන්ට මේ ජාතික උත්සවය ඉතා වැදගත්ය. තම දරුවන් එවැනි දේට සහභාගි කරවීම, නැරඹීමට අවස්ථාව ලබාදීම වැඩිහිටියන්ගේ වගකීමය.

මේ සියලු දෙයින් සතුටු වන අතර ම මත්පැන් බෝතලයට මුල් තැන දීම ද තවමත් අප සමාජයේ දකින්නට ලැබේ. මත්ද්‍රව්‍ය නිසා විකල් වූ මනසක් ඇතිවන බව ඔබට ඉගැන්විය යුතු නොවේ. දරුවන්ට, තමන් ගේ ආදරණීය බිරියට අපූරු සතුටක් පී‍්‍රතියක් උදා කර ගත හැකි දිනයේ පවා ඔබ මත්පැනින් විකල් වූ සිහි ඇතියෙක් වූයේ නම් ඔබ පිය පදවියට ද නිගා කරන පුද්ගලයෙක් බව අමතක කළ යුතු නොවේ. එය බෞද්ධකමට නොහොබිනා පහත් ක්‍රියාවකි. සාමය සතුට වෙනුවට අසමගිය, අසතුට උදාවන හැසිරීමකි. මේ නිසා තමන් ගේ දරුවන් ඉදිරියේ නිවට පුද්ගලයෙක් නොවී සැබී පියෙක් ලෙස, ආදරණීය අම්මා කෙනෙක් ලෙස ඔබ ගේ යුතුකම් වගකීම් ඉටු කළ හැකි නම් උදා වූ නව වසර ජීවිතයට අසිරිමත් බවක් සතුටක් සැනසීමක් උදාකරන බව අමතක නොකළ යුතුය.

රමණී සුබසිංහ
ඡායා :- දුෂ්මන්ත මායාදුන්න

Gossip Lanka Hot News Previous News Archive