Pages

එල්ටීටීඊය ජාත්‍යන්තර නීති උල්ලංඝනය කරලා - ශ්‍රී ලංකා යුද හමුදාව

පාබල, සන්නාහ සන්නද්ධ, කාලතුවක්කු, බුද්ධි, සිවිල් කටයුතු හා වෛද්‍ය ක්ෂේත්‍රවලට අයත් යුද හමුදා නිළධාරීන් වෙතින් ලබා ගත් සාක්ෂි විමර්ශනය කළ යුද හමුදා විමර්ශණ කමිටුව විසින් එල්ටීටීඊ සංවිධානය ජාත්‍යන්තර නීති උල්ලංඝනය කර ඇති බවට නිගමනය කොට තිබෙන බව ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රකාශ කරයි.

උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම මගින් දැක්වූ තොරතුරු හා චැනල් 4 රූපවාහිනී නාලිකාවෙන් විකාශය කළ වැඩසටහන් මගින් ශ්‍රී ලංකා යුද හමුදාවට එල්ල වු චෝදනා පරීක්ෂා කිරීම සඳහා යුද යුද හමුදාපතිවරයා විසින් එම විමර්ශන කමිටුව පත් කරන ලදී.සිවිල් වැසියන් මිනිස් පලිහක් ලෙස තබා ගැනීම, සිවිල් වැසියන් අතර කාලතුවක්කු ස්ථානගත කිරීම, අනතුරුදායක වන පරිදි ළමා සහ වයෝවෘද්ධ පුද්ගලයින් සංග්‍රාමික කටයුතු සඳහා යොඳවා ගැනීම, එල්ටීටීඊ සංවිධානය විසින් ජාත්‍යන්තර නීති උල්ලංඝනය කළ අවස්ථා බවට විමර්ශන කමිටුව විසින් අනාවරණය කොට ඇති බවයි, යුද හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසුරිය ප්‍රකාශ කළේ.
මානුෂීය මෙහෙයුමේ දී ශ්‍රී ලංකා යුද හමුදාව ජාත්‍යන්තර මානුෂ්‍යවාදී නීතිය අනුව ක්‍රියා කරන ලද බවත් සිවිල් වැසියන්ට සිදුවන හානි ශූන්‍ය කිරීමට උපරිම උත්සායහක් දරා ඇති බවත් කමිටු වාර්තාවෙන් පෙන්වා දී ඇතැයි බ්‍රිගේඩියර් රුවන් වනිගසුරිය පැවසුවේය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් සකස් කරන ලද, කිසියම් හේතුවක් මත ප්‍රසිද්ධියට පත් නොකළ, වාර්තාවක සදහන් වී ඇත්තේ යුද්ධයේදී හත් දහස් හත් සියයක් පමණ සිවිල් ජීවිත අහිමිවී ගොස් ඇති බව යැයි පවසන බ්‍රිගේඩියර් රුවන් වනිගසුරිය ඉන් කොටසක් එල්ටීටීඊ සටන් කාමීන් බවත් එම පිරිස අතර සාමාන්‍ය වැසියන්ද සිටීමට බොහෝ දුරට ඉඩකඩ ඇති බවත් ප්‍රකාශ කළේය.

එකසත් ජාතීන්ගේ මහ ලේකම්වරයා පත් කළ කමිටු වාර්තාව මගින් අඩුම වශයෙන් සාමාන්‍ය වැසියන් හතලිස් දහසක් පමණ මිය ගොස් ඇති බවත් තවත් ජාත්‍යන්තර සංවිධාන වෙනත් සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කොට ඇති බවත් පැවසූ විට බ්‍රිගේඩියර් රුවන් වනිගසුරිය පැවසුවේ ඒවායේ පදනමක් නැති බවයි.යුද හමුදා විමර්ශන කමිටු වාර්තාවට ප්‍රතිචාර දැක්වූ දෙමළ ජාතික සංවිධානය පැවසුවේ ඊට වඩා යමක් ශ්‍රී ලංකා යුද හමුදාවෙන් හෝ ශ්‍රී ලංකා රජයෙන් බලාපොරොත්තු විය නොහැකි බවයි.

යුද්ධයේදී එක් ලක්ෂ හැට දහසක් පමණ සිවිල් වැසියන් මිය ගොස් ඇති බව පවසන දෙමළ ජාතික සංවිධානයේ යාපනය පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් අවධාරණය කළේ සත්‍යය දැන ගැනීමට ජාත්‍යන්තර විමර්ශනයක් ආරම්භ කල යුතු බවයි.
BBC